Facebook සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගනී

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

20 වනදා සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තැපෑල සූදානම් – තැපැල්පති

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා (19) දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පෙබරවාරි 20 වනදා සිට මාර්තු 03 වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

ලිපි බෙදීම් තැපැල් කාර්යාල 2000 කට අධික සංඛ්‍යාවක් හා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 7800 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් හරහා මෙම කාර්ය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 33,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 29,605 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,576 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට වෘත්තීයවේදීන් අද රැස්වෙයි

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති 40 ක් මෙම රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මූල්‍යමය නොවන ප්‍රතිලාභ සඳහා ලබාදුන් සහන හරහා මෙම බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ලක් කළ හැකි බව ආණ්ඩුව විසින්ම පෙන්වාදී ඇති බවයි.

මාර්තු 15 වනවිට නිල ඇඳුම් රෙදි ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

මාර්තු මස 15 වනදා වනවිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ වන විට පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය වන 70% ක රෙදි චීනයෙන් පැමිණ ඇති බවත් පෞද්ගලික අංශයේ 30% ක් මේ වන විට නිම කෙරෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම උතුරු, උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවලින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.

Woman’s T20 World Cup : බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 15 කට සහ විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවීගිය අතර හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කින් නොබිදුණු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

හර්ෂිතා පන්දු 50 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින්. නිලක්ෂි නොදැවී ලකුණු 41 (38) යි.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් – වෛද්‍යවරුන්

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍යවරුන් පවසනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ, ශල්‍යකර්ම අවශ්‍ය වේලාවට නොකිරීම හරහා එම රෝගියාගේ ජීවිතය අවධානමට ලක්වන බවයි.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම බවට සඳහන් කරමින් වචන හරඹයක් පමණක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

ඔරුවක් පෙරළී ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් මරුට

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙක බවයි පොලීසිය සඳහන් කළේ.

පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබූ අතර සෙසු පිරිස දිවි බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තුර්කියේ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

පසුගියදා තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ලයින් 28,000 ක් පමණ මියගොස් තිබූ අතර එක් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන්වී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණා.

ශ්‍රී ලාංකික කාන්තාව ජීවත් වූ කඩා වැටුණු ගොඩනැගිල්ලක සහන කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසියකදී සුන්බුන් අතරින් ඇය සොයාගෙන ඇති අතර මෙම කාන්තාව වසර කිහිපයක සිට තුර්කියේ පදිංචිව සිට ඇති අතර ඇය විවාහ වී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර තුර්කි ජාතිකයෙකු සමඟ බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.