ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ අද (12) පැවැත්වෙනවා.

තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජනපතිගෙන් කිළිනොච්චියේ වී ගොවීන්ට සහතිකයක්

කිළිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවයි.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල හදිසි සැත්කම් හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඊයේ (11) රාත්‍රියේ ඔවුන් යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 26,000 කට ආසන්න වෙයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26,000 කට ආසන්නවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 22,327 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,553 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමිවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් ලබාදෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදු කරන බවයි.

යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුවහොත් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36,000 ක් ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

බුත්තල ප්‍රදේශයේ භූකම්පනයට හේතුව ගැන පැහැදිළි කිරීමක්

බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටියේ ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල ප්‍රදේශයේ භූකම්පනයන් වාර්තා නොවන බවත් කාල්ස්බර්ග් මවුන්ට් නම් මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු කම්පනයක් මෙලෙස දැනෙන්නට ඇති බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම ‍ඊයේ (10) සහ අද (11) දිනයේ වාර්තා වූ භූකම්පනයන් පිළිබඳව සොයා බැලීම සඳහා මොනරාගල, බුත්තල ප්‍රදේශවලට විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

විරෝධතාවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාප‍නයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කල්පිටිය වෙරළට ගොඩ ගැසූ තල්මසුන් නැවත සාගරයට මුදා හැරේ

අද (11) උදෑසන කල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා සිටි තල්මසුන් පිරිස නැවත සාගරයට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය, වනජීවි අංශ සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.

මෙලෙස ගොඩ ගැසූ තල්මසුන්ගෙන් 03 දෙනෙකු මිය ‍ගොස් ඇති බවට වාර්තා වූ අතර ඉතිරි තල්මසුන් 11 දෙනෙකු නැවත සාගරයට මුදා හැරීමට මෙහිදී කටයුතු කර තිබුණු බවයි වාර්තා වන්නේ.

විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණය සැලැකිය යුතු මට්ටමකින් ඉහළට – මනූෂ නානායක්කාර

2022 ජනවාරි මාසයේ දී ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. 2022 ජනවාරි මාසයේ ලැබූ විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණයට වඩා මෙරව අමෙරිකානු ඩොලර් මිලියන 178.3ක් ලැබී ඇති අතර එය 68.8%ක වර්ධනයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.