ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගෙවන තරග මුදල් වැඩි කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල් 2023 ජනවාරි 01 වනදා සිට වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස තරගයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එක ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරග මුදලින් 25% බැගින් ගෙවන අතර ජයග්‍රහණය කරනු ලබන සෑම තරගයක් සඳහාම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250 ක පාරිතෝෂිත දීමනාවක් හිමි වන බවයි සඳහන් වන්නේ.

2d1c2a9fd458546adeda165227f0aa21

විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම අතර සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වෙයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (13) විදුලි බිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වූ බව ජාතික සභාවට දැනුම්දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අද (14) මේ බව ජාතික සභාවට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය හෙටට (15) පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාවට පවසා ඇති බැවින් හෙට දිනයේ අවසන් තීරණයක් අපේක්ෂා කරන බව එහිදී කතානායකවරයා සඳහන් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අද දිනයේ කොමිෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

අද මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නා – සාගර කාරියවසම්

හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී දැනුම්දුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළා.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව මීට පෙර දැනුම්දී තිබූ බවත් නමුත් අද පැවති සාකච්ඡාවේදී තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීමේ හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිසම දැනුම්දුන් බවද ඔහු සඳහන් කළා.

මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්ව​ය ලබාදිය යුතුයි – පැෆරල් සංවිධානය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවතී ඇති බවට වාර්තා වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මීට පෙර පැවති සෑම මැතිවරණයකම බොහෝමයක් රාජ්‍ය ආයතන ගෙවීමේ පදනම මත මැතිවරණ කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත් පළමුවතාවට මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

මෙහි වගකීම ආණ්ඩුව දැරිය යුතු බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තනි ආණ්ඩුවක් විසින් යටපත් කරන තත්ත්වයක් උදාවී ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනභාවය ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් මේ තුළින් ඉදිරියේදී මැතිවරණ කොමිසමට නිදහසේ මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ලැබෙන බවද ඔහු සඳහන් කළා.

එසේම ආර්ථික සාධකය මත මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් අනාගතයේ එන ඕනෑම පාලකයෙකුට, පාර්ලිමේන්තු මැතිවරණයද ආර්ථික සාධක මත කල් දැමීමට හැකිවීමේ බරපතල අවදානමක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ – බන්දුල ගුණවර්ධන

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට කිසිසේත් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය එදිනෙදා මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ණය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමට නොහැකිවුවහොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ වත්මන් මුදල් තත්ත්වය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය භාර ලේකම්වරයා විසින් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවා වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක්

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම ප්‍රදානය ලබාදී ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා මෙම ප්‍රදානය හරහා ඉන්ධන සැපයීමට මෙම ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව පෙබරවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව එළැඹෙන 21 වනදා සිට 24 වනදා දක්වා නැවත රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන අඟහරුවාදා (21) උදෑසන 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා වන ශ්‍රී ලංකා A කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්,

c240f2689742a75d2a15e8ca0e7cc425

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.59 ක් ලෙස සටහන් වී ඇති අතර WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.89 ක් ලෙසයි සටහන්වී තිබෙන්නේ.

අමෙරිකාවේ උද්ධමන දත්ත මෙලෙස බොරතෙල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.