සනත් නිශාන්ත ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (23) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය සේවකයින්ට රාජකාරී විදේශ ගුවන් ගමන් Economy Class පමණයි – ජනපතිගෙන් උපදෙස්

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඡන්දෙ කල් දාලා නෑ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

මැතිවරණ කොමිසම විසින් තවම නීත්‍යානුකූලව මැතිවරණයක් කැඳවා නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැතිවරණයක් පැවැත්වීම රටේ ආර්ථිකයට නුසුදුසු බවද, ඊට මුදල් නොමැති බවද අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දිනය ගැන තීරණය ගෙන ඇත්තේ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් බව සහ අනෙක් සාමාජිකයන්ගෙන් පසුව ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව Sunday Times පුවත්පතේ වාර්තාවක දැක්වෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නීත්‍යානුකූල ලෙස තීරණයක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා – අධ්‍යාපන ඇමති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවත් අසීරුතා මධ්‍යයේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔහුට ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී තිබුණා.

ආනයනය කරන පළමු බිත්තර තොගය මේ සති අන්තයේ දිවයිනට

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත අතර ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ඉන්දියානු අදානි සමාගමට අනුමැතිය

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියානු අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවන අතර මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් බවයි සඳහන් වන්නේ. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් ජාතික පද්ධතියකට එක් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට නඩු

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාළ වෙළෙඳුන් රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48 කටත් අලෙවි කර ඇති බවටයි තොරතුරු වාර්තාවී තිබෙන්නේ.

ඒ අනුව අදාළ වෙළෙඳුන්ව ඇපකරයක් මත මුදාහැර මේ මස 28 වනදා නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදුන් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක්

මැතිවරණය පවත්වන ලෙස බල කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

කළු විරෝධතා සතිය ඇරඹෙයි

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට සමගාමීව වරාය සේවකයින් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක්ද පැවති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ, අද පැවැත්වෙන විරෝධතාවයට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාර්තු 1 වනදා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.