අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකර අපේ මංගල රැළිය කල් දැම්මා – එස්.එම්. චන්ද්‍රසේන

2023 පළාත් පාලන මැතිවරණය‍ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ දී පැවැත්වීමට තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඔහු පවසා සිටියේ මැතිවරණය පිළිබඳව නඩු තීන්දුව පිළිබඳව සලකා බලා පක්ෂයේ නායකයන් එක්ව අද (24) දිනයේ පැවැත්වීමට තිබූ රැළිය මාර්තු මාසයේ මැද දිනයක් දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

එම රැළියේ දී පොදුජන පෙරමුණට “රැස්වීමක් තියන්න බැහැ, ගමට යන්න බැහැ, පක්ෂය වැටිලා” යන ප්‍රකාශයන් කරන අයට දැවැන්ත රැළියක් පවත්වා පිළිතුරු ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවය අතරතුර ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, මේ වන විට ඔවුන් පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසු වන බවයි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහු සහ තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ සහාය දෙන්නැයි අමෙරිකාවෙන් ඉල්ලීමක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ විපතට පත් නැගී එන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙස චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික නිල ණය හිමියන්ට තමන් ආරාධනා කරන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.

G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බෙන්ගලුරු හිදී ආරම්භ වූ සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කළා.

මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම මැයි 11 දක්වා කල් තැබේ

හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

COPE කමිටුවේ නව සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.

අද එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් මාව ඉවත් කරලා – හර්ෂ

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, විපක්ෂය විසින් එම තනතුර සඳහා තම නම යෝජනා කර තිබූ අතර එම පත් කිරීම දින දෙකකට පෙර අනුමත වූ බවයි.

කෙසේ නමුත් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අද පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ආණ්ඩුපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

f28bec351ec6f68675c502743be5cce2

මරණ දණ්ඩනය ගැන ජනාධිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණය ඉල්ලා ජනපති ඉදිරියේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවක

ජනාධිපතිවරයා අද (23) පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වුණා.

ඒ අනුව ඔවුන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සභා ගර්භය මැදට පැමිණ මෙම විරෝධතාවයේ නිරත වූ බවයි සඳහන් වන්නේ.