ඡන්දය පවත්වන ලෙස ඉල්ලා පාදුක්ක ජනතාව මැතිවරණ කොමිසමට Money Orders යවයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ඊට දායවීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස මැතිවරණ කොමිසමට රුපියල් 100 සහ 200 අගයන්ගෙන් මුදල් ඇනවුම් (Money Orders) යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නමට මෙම මුදල් ඇනවුම් යොමු කර ඇති අතර එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වෙනවා – ඩිව් ගුණසේකර

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවත් මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීමට පනතක් ගෙන ඒමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සඳුදා අනුමත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (22) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඊයේ (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද දක්වා කල් තැබීමට කටයුතු කළා.

එ.ජා.ප. පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන් අද කොළඹට

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙය සංඥාවක් පමණක් බවත් සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුවහොත් රට අකර්මන්‍ය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වන අතර ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව ද නොලැබෙන බවයි “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

095ced2df2a50e3820d059dc6ffca46b

මැතිවරණ කොමිසමට මුදල් නොදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ තීරණය තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි සඳහන් වන්නේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවෙලා – ජෝසෆ් ස්ටාලින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.

උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය කල්යාම ඉදිරි විභාගවලට බරපතළ ලෙස බලපාන බවත් මෙලෙස කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කිසිවක් සඳහන් නොකරන බවද ඔහු සඳහන් කළා.

ඇගයීම් ක්‍රියාවලියට අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම් කර නොමැති බවත් ඇගයීම් ක්‍රියාවලියට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා ඊයේ (20) පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, බදුල්ල යන ප්‍රදේශවල මෙම විරෝධතා පැවති අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මෛත්‍රීට හා දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී චමාලි පෙරේරා වෙනුවට එම තනතුරට වෙනත් අයකු පත්කිරීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත්කිරීමට සූදානම් වන බවට ඇය විසින් සිය පෙත්සම මඟින් කරුණු දක්වා තිබුණා.