ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මහජන විරෝධතාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රය අසලින් මෙම විරෝධතාව ආරම්භවී ඇති බවයි වාර්තා වන්නේ.

මාළිගාකන්ද අධිකරණයෙන් ද අනුර දිසානායක ඇතුළු 26කට තහනම් නියෝගයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන රෝහල් චතුරශ්‍ර පරිශ්‍රයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින්, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිස් ස්ථානයෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතා හේතුවෙන් රෝගීන් සහ එම ප්‍රදේශ භාවිතා කරන ජනතාව පීඩාවට පත්විය හැකි යැයි මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වාදී ඇති බව වාර්තා වෙනවා.

අනුර දිසානායක ඇතුළු 26 දෙනෙකුට අද ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීමක් ඇති නොකරන ලෙසයි, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම අධිකරණ අඥාව නිකුත් කර ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද ජාතික ජනබලවේගය විසින් කොළඹදී මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති අතර එය අද දහවල් 2.30 ට විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වීමට නියමිත බව ඔවුන් නිවේදනය කර තිබුනා.

කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද‍

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 06කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍යයි – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සඳහන් කරන්නේ.

ආනයනික බිත්තරයක් රුපියල් 30 කට ආහාර නිෂ්පාදකයන්ට

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා.

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටිනවා – ජනපති

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ OIC ඇතුළු නිලධාරීන් 4ක් අත්අඩංගුවට

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණා.

ජනපති සමඟ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණේ නැහැ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවා – වෘත්තීය සමිති එකමුතුව

ජනාධිපතිවරයා සමඟ අද (25) පැවති සාකච්ඡාවේ දී අපේක්ෂා කර අයුරින් විසදුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

බදු සංශෝධනය පිළිබඳව පොදු මතය එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ නමුත්, මාර්තු 01 වනදායින් පසුව ආරම්භ කරන විරෝධතා මාලාව අත්හැරීම සඳහා අවශ්‍ය කරන ධනාත්මක ප්‍රතිචාරයක් මෙම සාකච්ඡාවේ දී නොලැබුණු බවද, ඒ හේතුවෙන් එම විරෝධතා ඉදිරියටම ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවා.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද, බදු සංශෝධනය වෘත්තී‍ය‍වේදීන්ට දරාගැනීමට හැකිවන මට්ටමකට ගෙන එනතෙක් සටන අත්නොහරින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ දී බස් රථයක් ‍ප්‍රපාතයකට පෙර‍ළෙයි

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළි යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 48 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ 25 දෙනෙකු මේ වන විට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.