තුර්කි – සිරියානු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50,000 ඉක්මවයි

පසුගිය පෙබරවාරි 06 වනදා තුර්කිය සහ සිරියාවේ ඇතිවූ දැවැන්ත භූ කම්පනය හේතුවෙන් මිය ගිය ගණන 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (24) දිනය වන විට තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 44,218 දක්වා ඉහළ ගොස් ඇති බවට එරට ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පවසා සිටි අතර සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 5,914ක් ලෙස වාර්තා වී තිබුණා.

ජනපතිගේ වියරු ස්වභාවය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතුයි – අනුර

ජනාධිපතිවරයා විසින් ඡන්දය කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීම, රටේ සියලුම දෙනාගේ වගකීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගය මේ සඳහා දිස්ත්‍රික් ගණනාවක විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත්, හෙට (26) දිනයේ කොළඹ දී ජනාධිපතිවරයාගේ වියරු ස්වභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ උත්සාහය පරාජයට පත් කිරීම සඳහා දැවැන්ත ජනතා විරෝධතා රැළියක් පැවැත්වීමට සුදානම් බවද ඔහු පවසනවා.

එමෙන්ම මේ පිළිබඳව විවිධ ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීමට කටයුතු කළ බවද, ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යාමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කරනවා.

සංචාරකයෙක්ට සෙරෙප්පුවෙන් දමා ගැසූ තරුණයා බන්ධනාගාරයට

පසුගියදා දුම්රියකින් ගමන් කරමින් සිටි සංචාරක කාන්තාවකට සෙරප්පුවකින් පහර දීමේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (24) දිනයේ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්න අපිටත් යෝජනාවක් ආවා – චන්න ජයසුමන

අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමේ යම් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා යෝජනාවක් සිය සන්ධානයටත් ගෙන ආ බවත් නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

ඔහු පවසා සිටියේ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කිරීමෙන් පලක් නොවන බවත්, ආණ්ඩුව ගෙදර යා යුතු බවයි. අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමෙන් රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

අග්‍රාමාත්‍ය ධූරය මාරු කිරීමේ උත්සාහයට සිය සන්ධානයේ කිසිවෙකුත් සහාය නොදෙන බව පවසා සිටි මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් විවේකි සූවයෙන් සිටිය යුතු බවයි.

වෘත්තීය සමිති 40ක නියෝජිතයින් අද ජනපති හමුවෙයි

වරාය, විදුලිය, වෛද්‍ය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වනවා.

රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බිත්තර සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම පියවර

බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනදා සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන අතර එම බිත්තර තොගය දිවයිනට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කෙරේ

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉහළ බලපෑමක් එල්ලව ඇති බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් අවධාරණය කර තිබෙනවා.

ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එම නිසා ශ්‍රී ලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙන්ම දැනට අපේ රටේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධිය පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදුකර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම්වරයා විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවේ දීය.

ඒ අනුව මාර්තු මස පළමු වෙනි දින වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මාර්තු 09 මැතිවරණය නැහැ, පැවැත්වෙන දිනය මාර්තු 03 ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇතුළු ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද, ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.
edece3ec9d96f5c624e8954f94b34ba3