කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. නිමල් අමරසිරි නැමැති ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ බවද, ඔහුගේ මරණයේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනවා.
Author: Supun
මැතිවරණය සම්බන්ධයෙන් ස.ජ.බ. ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වනදා කැඳවීමට නියෝග
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (27) කැඳවා තිබෙනවා.
QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – කංචන
ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
දැනට වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය විශ්ලේෂණය කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනාධිපති මේ වෙලාවේ පිඳුරු ගහෙත් එල්ලෙන්න බලනවා – මංජුල ගජනායක
ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.
අඛණ්ඩව පැමිණි බාධා සමූහයක් මධ්‍යයේ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඒ අනුව මැතිවරණ මෙලෙස කල් දැමීම එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බැවින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පිදුරු ගසක හෝ එල්ලීමට සුදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
දෙරට අතර ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 ක් පැවැත්වීමට නියමිත අතර අද දිනයේ ටෙස්ට් සංචිතය මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම තරගාවලියේදී දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 02 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර, එක්දින තරගාවලිය එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි
ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කිසිඳු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙනවා.
ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත්, එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත්, ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක
විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
6 වැනි වරටත් කාන්තා T20 ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාවට
6 වැනි වරටත් කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ මෙවර කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු 2 බැගින් බිද හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.
කොහුවල මංසන්ධියේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීම නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම ඉදිකිරීම් කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව ඇති නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්ධිය – ගාලු පාර, නුගේගොඩ මංසන්ධිය, කිරුළපන මංසන්ධිය, බොරලැස්ගමුව මංසන්ධිය, පැපිලියාන මංසන්ධිය, පාමංකඩ මංසන්ධිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන් හි සවිකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මැතිවරණය කල් දැමීමට එරෙහිවයි ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ.
