පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී තීරණයකට පැමිණීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

බදු ප්‍රතිපත්තිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව බදු ප්‍රතිසංස්කරණ මගින් බදු ආදායම් සහ වියදම්වල අසමතුලිතතාවය නිවැරදි කිරීමේ අරමුණ ඉටුකර ගැනීමට ඉවහල් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අත්‍යාවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීම ද වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයට එක්වෙමින්.

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අද සිට මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමට නව නියෝජ්‍ය සභාපතිවරයෙක් පත් කෙරේ

මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කලේ.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළි අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය පහසුකම් ගෙවීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීමට එම එකඟතාව මගින් ප්‍රකාශ කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවද එම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (01) දිනයට සාපේක්ෂව අද (02) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ් අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. ඊයේ (01) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 351.72 ක් ලෙසත් විකුණුම් මිල රු. 362.95 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

‍මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව 2015 වසරේදී මෙරට තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව 22.5% ක් වූ බවත් එම ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30% ක් දක්වා වැඩිවී ඇති බවයි ඇය සඳහන් කළේ.

ආහාර පරිභෝජනය කරන ප්‍රමාණය වැය කරන ප්‍රමාණයට වඩා වැඩි නම් එය තෙල් වශයෙන් ශරීරය තුළ තැන්පත් වන බවත්, එම නිසා බර වැඩිවීම සඳහා එය බලපාන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් ක‌ළා.

වැඩි මිලට බිත්තර අලෙවි කළ බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපතිට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඊයේ (01) දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.

එහිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි

ගත වූ පෙබරවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 107,639 ක පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව එය 2022 පෙබරවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම්වලට වඩා 11.5% ක වැඩිවීමක් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම 2023 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 210,184 ක් ලෙස වාර්තා වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මාස අටකට පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ සුළු වැඩි වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පෙර පැවති අගයට වඩා සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

මෙය 2022 මැයි 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.