පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළ දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද විරෝධතා දැක්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවල

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටිනවා.

වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 40 ක් එක්දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර වෛද්‍ය, දුම්රිය, ගුරු සහ තැපැල් වෘත්තීය සමිති එයට එක්නොවී විරෝධතා පමණක් පවත්වන බවට ප්‍රකාශ කළා.

ඒ අනුව වරාය වෘත්තීය සමිති සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර සමස්ත ලංකා හෙද සංගමයද අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24 ක කාලයක් සහභාගීත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර බැංකු සේවකයින් එක්දින වැඩ වර්ජනයකට සහභාගී වී ඇ‍ත. ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ගුරුවරුන් සහ තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය කළ කිරීමට කටයුතු කර තිබෙන අතර තවත් බොහෝ වෘත්තීය සමිති අද දිනයේ විරෝධතා සඳහා එක්වී තිබෙනවා.

භූමිතෙල් මිල පහතට

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එසේම ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 134 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* ලංකා භූමිතෙල් – රු.50 කින් (නව මිල රු.305)
* ලංකා කාර්මික භූමිතෙල් – රු.134 කින් (නව මිල රු.330)

මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තොරතුරු දැනගැනීමේ පනතට යටත් බව අභියාචනාධිකරණය තීන්දු කරයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද පිරිසක් බවත් එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.

අද පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අද (01) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට දැනුම්දීමක්

අද (01) සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ කොට්ටාව-මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබෙනවා.

ඒ අනුව අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

කොට්ටාව-මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මගීන් පැටවීමට හෝ මගීන් බැස්සවීමට වාහන නැවැත්වීම සපුරා තහනම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට දැවැන්ත වැඩ වර්ජනයක්

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල සහ ටෙලිකොම් වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වන බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්නොවී ප්‍රාදේශීය වශයෙන් විරෝධතා වල නිරත වීමට තීරණය කර තිබෙනවා. රෝහල් වලට පැමිණෙන රෝගීන්ව අපහසුතාවට ලක් නොකර ප්‍රතිකාර ලබාදීමට උපරිම උත්සාහ ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

තැපැල් සහ ගුරු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහය ලබාදෙන නමුත් වර්ජනයට එක් නොවී කළු පටි සහ කළු ඇඳුම්වලින් සැරසී මේ සඳහා සහයෝගය ලබාදෙන බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

දුම්රිය වෘත්තීය සමිතිද වර්ජනයට එක්නොවී විරෝධතාවක නිරතවෙමින් වර්ජනයට සහය පළකිරීමට තීරණය කර ඇති අතර මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විරෝධතාවයේදී පුද්ගලයෙක් මියයාම ඝාතනයක් – අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ පුද්ගයෙකු මියයාම ඝාතනයක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම විරෝධතාව ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කළේ ආණ්ඩුව විසින් බවත්, එම නිසා මෙය ආණ්ඩුව විසින් සිදුකරන ලද මිනිස් ඝාතනයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යංශයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට පොලීසිය හා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමට එරෙහිව අද (28) ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, නීතිය අතට ගැනීම සඳහා පොලීසියට බලයක් නොමැති බවයි.