ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීම පිළිබඳව IMF ප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (03) දිනයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබුණේ පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බවයි.

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බවත්, එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වෙලා – ලංකා ගුරු සේවා සංගමය

උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

මීට අමතරව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව පවසා තිබුණේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බවයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

අද (04) පස්වරු 02.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද වැසෙයි

අද (04) පෙරවරු 09 සිට හෙට (05) දහවල් 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තබන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා.

මෙයට හේතුව වී ඇත්තේ ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය යටතේ අධීක්ෂණය වන පෞද්ගලික ආයතනයක් මඟින් අදාළ කොටසේ භූගත ජල නල පද්ධතියක් එලීමේ කටයුත්තක නිරත වීම බවයි පොලීස් නිවේදනයේ සඳහන් වන්නේ.

මේ සම්බන්ධව වන නිවේදනය පහතින්,

e64f229d80d69532a7aa9414adaf1c3f

මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන 2023 වසරේ අයවැය තුළින් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

වේගා මෝටර් රථය සඳහා බලපත්‍රය හිමිවෙයි

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (03) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

වේගා මෝටර් රථය සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තෙවන දිනටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පිට පිට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙසත් විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

ඊයේ (02) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

සඟවා තිබූ බිත්තර 60,000ක් සමඟ ගබඩාවකට මුද්‍රා තබයි

වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමිට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවට මෙලෙම මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි – ජනපති

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවයි ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවන බවයි සඳහන් වන්නේ.