රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නෙමෙයි – මහාචාර්ය වසන්ත අතුකෝරල

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාල්ඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඩොලර් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් පාලනය කිරීම හා සැපයුම නිදහස කිරීම, රුපියලේ අගය මෙලෙස ශක්තිමත් වීමට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.

එවැනි අවස්ථාවක ඕනෑම රටක මුදලේ අගය ශක්තිමත්වීමක් සිදුවෙන බව පෙන්වා දූන් මහාචාර්යවරයා කියා සිටියේ එය දිගු කාලීනව පවත්වා‍ගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.

තව මාස 2-3ක් තුළ ඉතා වේගයෙන් රුපියල කඩා වැටීමේ හැකියාවක් පැවතිය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඔස්සේ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත සූක්ෂම ගෙන යාමට උත්සාහ කළ රත්‍රං කිලෝ ග්‍රෑම් 10.5ක බරකින් යුතු රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රත්‍රං‍ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ගුවන්තොටුප‍ොළේ සංක්‍රමණික පරිශ්‍රයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ද මෙම සිදුවීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා. සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

දුම්රියේ වැසිකිළිය තුළ අත්හැර ගිය බිළිඳා ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි

කොළඹ සිට මඩකලපුව සිට ධාවනය වීමට තිබූ ශීඝ්‍රගාමී දුම්රියක වැසිකිළියක දමා ගොස් සිටියදී මාසයක්වත් වයසැති බිළිඳකු ඊයේ (10) රාත්‍රීයේ දී සොයා ගෙන තිබුණා.

අදාළ බිළිඳා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.

බිළිඳාගේ දෙමාපියන් හඳුනා ගැනීම සඳහා මේ වන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් අද (11) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් කොටුව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා.

සුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ වැටෙයි

පසුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාට අනුව 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී තිබෙනවා.

75a9c0ceb163511482c0ac69823d47f3

SLvsNZ : නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කරගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 62ක් සහ ඩැරල් මිචෙල් ලකුණු 102ක් රැස් කරගැනීමට සමත් වූ අතර මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 04ක් බිඳ දැමූ අතර, ළහිරු කුමාර කඩුළු 03ක්, කසුන් රාජිත කඩුළු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය 01ක් කඩුල්ලක් බිඳ දැම්මා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිටිනවා.

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් නිකුත් වේ

පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 266කගේ නම් සහිත ලේඛනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිත්තුවක්කු යන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරය‍ාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙලෙස විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන් අතර නිරූපමා රාජපක්ෂ, සාගල රත්නායක, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත්ව ති‍බෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම ලැයිස්තුවේ සිටීම විශේෂත්වයක්.

අදාළ ලේඛණයේ Link එක පහතින්,
http://bit.ly/3J8kMJs

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ජනකගෙන් පෙත්සමක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැණි බව ඔහු සිය පෙත්සම මඟින් පෙන්වාදී තිබෙනවා.

එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

හිඟව තිබූ ඖෂධ 151 ක් අතුරින් 83 ක් අද ලබා ගන්න පුළුවන් වුණා – සෞඛ්‍ය ඇමති

ඊයේ (09) දිනය වන විට මෙරට හිඟව තිබූ ඖෂධ 151 ක් අතුරින් 83 ක් අද (10) දිනයේ ලබා ගැනීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා උපරිම වශයෙන් සහයෝගය ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇති බවයි.

අත්‍යවශ්‍ය කිසිඳු දෙයක් කල් දැමිමට කටයුතු කර නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණයට අදාළව රාජ්‍ය ආයතන සමඟ මැතිවරණ කොමිසම ඇතිකරගත් එකඟතා දැනුම්දෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය, පොලීසිය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සමඟ ඇතිකරගත් එකඟතාවයන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති අතර, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා තිබෙනවා.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබාදීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකඟතාව පළ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6466c0f4f8c7d8dec57472fe949b4745

මැතිවරණ දිනය අප්‍රේල් 25 ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ.

එසේම තැපැල් ඡන්ද පත්‍රිකා දින 5 ක් තුළ හා අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20-25 ක් අතර මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව‌ට රජයේ මුද්‍රණලයාධිපතිනිය දන්වා සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

0f45431cfbd2464318ab33dd81b8b5ad