වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීමට තරම් ප්‍රමාණවත් විසඳුමක් ලැබුණේ නැහැ – හරිත අලුත්ගේ

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර ඊයේ (13) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට (14) උදෑසන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් පොරොන්දු වූ බවයි ඔහු සඳහන් කළේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් හෙට දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

විමල් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු උද්ඝෝෂණයේ නිරත වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළ අතර නඩුව යළි ජුනි 19 වනදා කැඳවීමට නියෝග කළා.

රත්‍රං මිල යළිත් ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව හෙට්ටි වීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (09) එහි මිල දැක්වුනේ රුපියල් 134,000 ක් ලෙසයි.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 173,000 ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය කල් යා හැකියි – අධ්‍යාපන ඇමති

මේ වනවිට උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක් පමණ ප්‍රමාදවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව පවතින තත්ත්වය මත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් ගියහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද කල් යා හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුවට විභාගයක් පැවැත්වීමේ කටයුතු සඳහා මාස තුනක පමණ කාලයක් අවශ්‍ය බවත් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුවරුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසඳුම් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ : පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු 2 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක්, කසුන් රාජිත කඩුලු 2 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත්වූ අතර දෙවන ඉනිමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා කසුන් රාජිත 2 ක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Kane Williamson විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 121 ක් වාර්තා කළා.

තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

ඩොලරයේ මිලෙහි අද සුළු වෙනස් වීමක් පමණයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලෙහි අද (13) දිනයේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.82 ක් ලෙස හා විකුණුම් මිල රු.328.86 ක් ලෙසයි අද (13) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙ​ස පැවැත්වෙයි

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවන අතර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් මෙවර භාවිතා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි.

හොඳම නළුවා සම්මානය The Whale චිත්‍රපටය වෙනුවෙන් Brendan Fraser විසින් දිනාගත්තා.

හොඳම නිලිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් Michelle Yeoh දිනාගත්තා.

Daniel Kwan සහ Daniel Scheinert මෙවර හොඳම අධ්‍යක්ෂනයට හිමි සම්මානය හිමිකරගත් අතර ඔවුන් අධ්‍යක්ෂනය කළ Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමට සමත්වුණා.

එමෙන්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක් වන S.S. Rajamouli විසින් අධ්‍යක්ෂනය කළ “RRR” හි “NAATU NAATU” ගීතය දිනාගත් අතර එහි සංගීත නිර්මාණය M.M. Keeravaani සහ පද රචනය Chandrabose සිදුකර තිබෙනවා.

38d89dfdd31e18d30566f24440bf1e1a 52c0f4e7afd24cb76acd023c265c85e7 29fb6a3c2d2c07a06fd19db6227080b3

යාල්දේවි දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

නව ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (13) සිට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, හෙද, ගුරු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවය කරන සේවකයන් මේ සඳහා එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ආදායම් බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වැඩ වර්ජනය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වන අතර එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ, මේ සඳහා විසඳුම් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

ජල සම්පාදන සේවකයන්ද අද පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වන අතර විධායක නිලධාරීන් හා වෘත්තිකයන් ඇතැම් සේවාවවලින් බැහැරවීමට කටයුතු කරන බවද එම වෘත්තීය සමිති සඳහන් කළා.

සමස්ත ලංකා හෙද සංගමය හා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලබන 15 වනදා වැඩ වර්ජනයට සහයෝගය දක්වන බව සහ වරාය සේවකයන් අද සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (13) පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල අද උදෑසන 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරනා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ විසඳුමක් නොලැබුහොත් හෙට (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් එදිනද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.