දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

අද (14) සිට නැවත දැනුම් දෙනතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ටෙස්ට් තරග දෙකක් සඳහා අයර්ලන්ත කණ්ඩායම ලබන මාසයේ දිවයිනට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සදහා අයර්ලන්ත කණ්ඩායම ලබන මස මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රේල් 16 සිට 20 දක්වාත් දෙවන ටෙස්ට් තරගය අප්‍රෙල් 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.335.68 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.319.84ක් ලෙස හා විකුණුම් මිල රු.335.68ක් ලෙසයි අද (14) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

දුම්රිය ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමෝටිව් දුම්රිය ඉංජිනේරු සංගමය විසින් පැය 24 ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීමට කමිටුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇති විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වෙළඳ ඇමතිගෙන් ආනයනකරුවන්ට ඉල්ලීමක්

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුවද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතියේ සීනි කිලෝවක් රු 25 – 30කින් අඩු වූ බවත් අල, ළූණු මිලද පහළ ගොස් ඇති බවත් මේ සති කිහිපය තුළ මිල අඩුවී පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

efd85d202e451b1bb5b0f8b8058199ad

තවත් පළාත් 5 ක වෛද්‍යවරුන් අද වැඩවර්ජනයට එක්වෙයි

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (14) තවත් පළාත් 5 ක වෛද්‍යවරුන් වැඩ වර්ජනය සඳහා එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වලද අද උදැසන 8.00 සිට අනිද්දා (15) උදැසන 8.00 දක්වා පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඊයේ (13) දිනයේ බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර එම පළාත්වල රෝහල්වල කටයුතු අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

අද දිනය තුළ විසඳුම් නොලැබුණහොත් හෙට (15) දිවයින පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

සිනොපෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බවත් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට එහිදී එම නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.