මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති​ව ධූරයෙන් ඉවත් කරයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් සභාපති ධූරයෙන් හා සභික ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

298e4375e9b5fe4ca63ed38c3f8f1228

උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට ලංගම හා පෞද්ගලික බස් සූදානමින්

අද දිනය තුළ මගී ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් බිමන් යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය පරිදි පුද්ගලික බස්රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, අද දිනයේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බැවින් අතිරේක බස්රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බවයි.

එසේම ලංගම බස්රථ ද උපරිම සංඛ්‍යාවක් අද දිනය තුළ ධාවනය කිරීමට පියවර ගන්නා බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

හරක් කටා සහ කුඩු සළිඳු දිවයිනට රැගෙන එයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර එම නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

හරක් කටා” සහ “කුඩු සළිඳු” ඇතුළු පිරිසක් පසුගියදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කාර්යාල දුම්රිය 10 ක් පමණක් අද ධාවනය කෙරේ

දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් අද (15) උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

අද දිනයේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් පහතින්.

මුහුදුබඩ මාර්ගය:

* අංක 8097 පෙ.ව. 04.15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
(දකුණු කළුතර සිට මන්දගාමී)

* අංක 8320 පෙ.ව. 05.00 ගාල්ල – මරදාන (මන්දගාමී)

* අංක 8324 පෙ.ව. 06.00 අළුත්ගම – මරදාන (මන්දගාමී)

* අංක 8326 පෙ.ව. 07.00 දකුණු කළුතර – මරදාන (මන්දගාමී)
පුත්තලම මාර්ගය:

* අංක 3803 පෙ.ව.04.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)

* අංක 3801 පෙ.ව.05.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)
කැලණිවැලි මාර්ගය:

* දුම්රිය අංක 9646 පෙ.ව. 05.00 අවිස්සාවේල්ල – කොළඹ කොටුව

* දුම්රිය අංක 9649 පෙ.ව. 05.45 අවිස්සාවේල්ල – කොළඹ කොටුව

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට වර්ජනයට එක් නොවීමේ තීරණයක

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට පැවැත්වෙන වර්ජනයට සහභාගී නොවන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේ.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල හෙටට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමේ

බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 10, 11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එසේම මධ්‍යම පළාතේ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 6 සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 17 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සැලසුම් කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා – තැපැල් සේවකයන්

සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

විදුලි ඉංජිනේරුවන් සහ සේවකයන් හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර ඇති බව එහි සම ලේකම් බුද්ධික විජේවර්ධන පවසනවා.

මේ හේතුවෙන් හෙට දිනයේ සෘජුව විදුලිය බිඳවැටීමක් සිදු නොවුනත්, සාමාන්‍ය විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ද හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

ගුරු වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයට එක්වෙයි

ගුරු වෘත්තීය සමිති හෙට (15) පැවැත්වෙන වැඩ වර්ජනයට එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඊළඟ කොටස ලබා දෙනතුරු රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස්දෙනෙකු නම් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.