පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණදී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීරණ අරමුදල් පහසුකමට සහාය දක්වන වැඩසටහන කඩිනම් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත්, දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් අඛණ්ඩව පැවතිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

IMF ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් අනුමත කරයි

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට IMF අනුමැතිය හිමිවෙයි

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට තීරණය කෙරේ

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

18 වංගුව මාර්ගය යළි වසා දැමේ

මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ගය වසා තැබෙන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය ඊයේ (19) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර අද උදෑසන එය යළි විවෘත කළා.

අලි අගල් කැපීමට එරෙහිව වාරණ නියෝගයක්

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අගල් කැපීම නිසා කුඩා සතුන්ට මෙන්ම ගස්කොළන්, ජල පෝෂක ප්‍රදේශ වලටද දැඩි හානි සිදුවන බවයි පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එහි විභාගය සඳහා සැප්තැම්බර් 22 වනදා පැවැත්වීමට නියෝග කර තිබෙනවා.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට විපක්ෂය මුදල් අමාත්‍යංශ ලේකම්ට දින 7 ක් කල්දෙයි

දින 7 ක් ඇතුළත මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ එක්ව එම තීරණය ගත් බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.

විපක්ෂයේ සියලු පක්ෂ එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකළ බවට සලකා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙසත් එහිදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් නෑ – GMOA

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් සිදුව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. ඒ අනුව පවතින තත්ත්වය මත මෙම ගැටලුව විසඳීමට සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබාදී ඇති බවත් ආණ්ඩුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. මේ සතියේ ජනාධිපති සමග සෘජු සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක

අයර්ලන්ත තරඟාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමඟද සාකච්ඡා කළ බවයි අද (20) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තමන්ට නිසි පිළිතුරක් ලබා නොදුන් බවත් තමන්ගේ බලාපොරොත්තුව වන්නේ මීළඟට පැවැත්වෙන තරගාවලියෙන් අනතුරුව නව නායකයෙකුට අවස්ථාව ලබාදීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.