ඩොලරයේ විකුණුම් මිල රු.349 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.331‍.71ක් ලෙස හා විකුණුම් මිල රු.349.87ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පසු බසියි

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

එම ලකුණු සටහන අනුව ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුවන අතර දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවනවා.

ඒ අනුව ඔවුන් මෙවර ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙනවා.

SLvsNZ : නවසීලන්තයට ඉනිමක හා ලකුණු 58 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 58 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබාගෙන පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 164 ක් පමණයි.

යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම පරාජයෙන් ගැලවීම සඳහා දැඩි සටනක නිරතවීමෙන් අනතුරුව දෙවන ඉනිම සඳහාද ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 358 ක් පමණයි.

ඒ අනුව ඉනිමකින් හා ලකුණු 58 කින් දෙවන ටෙස්ට් තරගය ජයගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 2 -0 ලෙස ජය ගැනීමට සමත් වුණා.

18 වංගුව මාර්ගය නැවත විවෘත කෙරේ

පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට මාර්ගයට වැටුනු පස් හා ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරය රු.200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනය කරනවා.

අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සිදුකළ කතාව උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, රට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4 ක කාල පරිච්ඡේදයක් තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි.

අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවද, එවිට ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්.

ගොවීන්ට අද සිට මඩ පොහොර

වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩ පොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතයි.

ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 36,000 ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණා.

ලංකාවට ලබාදීමට නියමිත ණය IMF විධායක කමිටුව මඟින් අනුමත කිරීම අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වන්නේ.

එම මාධ්‍ය සාකච්ඡාව හෙට (21) උදෑසන පැවැත්වෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 283/5

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

මේ වන විට තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 283 ක් ලබා සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 133 ක් පිටුපසින් පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 51 යි, කුසල් මෙන්ඩිස් ලකුණු 50 යි, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2, දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 78 ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 25 ක් ලබා සිටිනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩදෙන්න බෑ – සාලිය පීරිස්

ඉදිරි මාස කිහිපය තුළි ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවෙමින් ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

අධිකරණය විසින් ලබාදී ඇති ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චයකරුවන් පීඩාවට පත්කිරීමට විධායකය උත්සහා කරමින් ඇති බවයි වැලිගම පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නීතීඥ වෘත්තියන් ලෙස ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් ඇඟිලි ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කළා.

විධායකය අධිකරණයේ තීන්දුවලට අවනතවීමක් සිදු නොවන්නේ නම්, සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට අවනතවීමක් සිදුවේවිද යන ගැටලුව මතුවන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.