IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි – ශෙහාන්

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අවුරුදු 4 ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විශ්වාසවන්ත බව විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය පවත්වාගෙන යනවිට ඒ සඳහා සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අනුමත කරන ලද මුදල් භාවිත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විසින් සම්මත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂය විසින් ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිට තිබෙනවා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 43 ක් වන අතර ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 32 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

හෙට එච්චර අඳුරු නෑ, අනාගතය සුබයි – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් කිසිදු කරුණක් ජනතාවට වසන් නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ ගිවිසුමේ සුවිශේෂ තත්ත්වයක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට මෙවර විශේෂ අරමුදල් පහසුකම් යටතේ රාජ්‍ය අයවැයේ මූල්‍යකරණය සඳහා මේ ණය පහසුකම් භාවිතා කිරිමට අවසර ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත් එයට අදාළ වන සියලුම පාර්ශ්වයන් විශාල කැපකිරීමක් කර රට අගාධයට හා මහා ව්‍යසනයකට යාමට තිබූ අවස්ථාව වළක්වා ගෙන තිබෙන බවත් තෙල්, ගෑස්, බෙහෙත් නොමැතිව සියලුදෙනාම ඇණ කොටාගෙන විනාශ වන තත්ත්වයක් නිර්මාණයවීමට ඉඩ තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රටේ ජනතාව පවතින අවදානම තේරුම් ගෙන රට වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව අනුමැතිය ලබාදුනහොත්, හෙට එතරම් අඳුරු නොවන බවද අනාගතය සුබ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරනවා – කංචන

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයේදී එම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවත් බොරතෙල් මිල අඩුවීම හා රුපියල ශක්තිමත්වීම මත ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

IMF සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ – ජනපති

විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් ඇති බවට සහතික කර ඇති බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස නොසලකන බව හා එම නිසා සාමාන්‍ය ගණුදෙනු ආරම්භ කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

විදේශ විනිමය තත්ත්වය දියුණුවීමත් සමඟ ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය දෑ පළමු වටයේ ආනයන සීමා ලෙස ලිහිල් කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඩොලරයේ විකුණුම් මිල රු.334 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකියයුතු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.316.84ක් ලෙස හා විකුණුම් මිල රු.334.93ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට 2022-07-04 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදා හැරේ

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ යටතේ ඩොලර් මිලියන 333 ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Peter Breuer සඳහන් කළේ.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (20) අනුමැතිය ලබා දුන්නා.

මැතිවරණ කල් දැමීමට කිසිවිට නිර්දේශ කර නැහැ – IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක නිර්දේශ කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.