ඉහළ දැමූ ඉන්ධන සලාක සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

QR අවසරපත් හරහා ලබාගත හැකි ඉහළ දමන ලද ඉන්ධන සලාක සීමාවන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22 ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14 ක් හිමිවන බවයි සඳහන් වන්නේ.

එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාක සීමාවක් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කලේ.

ඉන්ධන සලාක වැඩිවන ආකාරය පහතින්.

4d2e496f13252d2e20a83424763b28a7

ජයග්‍රහණයට හොඳම කාලය එනතෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා – පැෆරල්

බලයේ සිටින පාලකයන්ගේ ජයග්‍රහණය සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන බලවේගයට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

කිසිඳු නිතියකින් තොරව මැතිවරණ කල් දැමිමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, මෙය බරපතළ ලෙස රටේ ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවයි පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

පොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බවද, පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

IPL Final: 5 වැනි වරටත් IPL ශුරතාවය චෙන්නායි කණ්ඩායමට

පස්වැනි වරටත් අයි.පී.එල් ශූරයින් බවට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

අවසන් මහා තරගයෙන් පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කරමින් මෙම ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගැනීමට සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Wriddhiman Saha ලකුණු 54 ක්, Shubman Gill ලකුණු 39 ක්, හා Sai Sudharsan ලකුණු 96 ක් හා Hardik Pandya නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා.

පසුව තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට ලබා දෙමින්. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ගයික්වඩ් ලකුණු 26, කොන්වේ ලකුණු 47 ක්, අජින්කෙයා රහානේ ලකුණු 27 ක්, ශිවම් ඩූබේ නොදැවී ලකුණු 32 ක් හා රවීන්ද්‍ර ජඩේජා පන්දු 6 කින් නොදැවී ලකුණු 15 ක් ලබා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා.

IPL Final: කාසියේ වාසිය චෙන්නායි කණ්ඩායමට

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අරගල භූමි⁣ය ඇතුළේ ආගම්වලට අගෞරව කිරීම සාමාන්‍යකරණය කෙරුවා – නාමල්

පසුගිය වසරේ පැවති ගෝල්ෆේස් අරගල භූමිය තුළ ආගම්වලට අගෞරව කිරීම සමාන්‍යකරණය කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසන “අපේ හාමුදුරුවනේ” යන වචනය විහිළුවට ලක්කල සමාජය, ආගම් සමච්චලයට ලක් කිරීම සාමාන්‍යකරණය කළ බවයි ඔහු පවසන්නේ.

අරගල භූමියේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළ යුතු බව ත⁣මා පැවසුවේ එබැවින් යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

උන්වහන්සේ අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.303 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) දිනයේ සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.289.89 ක් ලෙස හා විකුණුම් මිල රු.303.26 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නේ මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්නද කියලා සැකයි – ඩිලාන් පෙරේරා

ආණ්ඩුවේ සමහර කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව දක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. පසුගිය සති කිහිපය තුළම රට තුළ කතාබහට ලක්වන්නේ ආගමික නිගරු කිරීම් සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් බවත්, එහිදී කතාබහට ලක්වන පිරිස් ඉදිරියට ගෙන එන්නේ ආණ්ඩුව විසින් හිතා මතාම බවට සැකයක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. අදාළ පිරිස් ආගමික කරුණු ඉලක්ක කරමින් පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මිනිසුන්ගේ අවධානය එදිනෙදා ගැටලුවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ උවමනාවෙන් දැයි සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.