නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ යුවළක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි නෙළුම් කුලුන පෞද්ගලික ආයතනය සඳහන් කරන්නේ.

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතුයි – රංජිත් සියඹලාපිටිය

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදුවන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බවයි.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඩොලරය වැඩිවීමට සාපේක්ෂව ද්‍රව්‍යවල මිල වැඩිවීමේ වේගයෙන් අඩුවීම සිදු නොවන බවත් මේ හේතුවෙන් නීතියානුකූල මඟ පෙන්වීමක් සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වීම සම්බන්ධයෙන් එම ඒකකය විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙස කොළඹ ගිනි නිවීමේ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොවන බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසය වනවිට ලබාදීමට කටයුතු කරනවා – විභාග කොමසාරිස් ජනරාල්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඇෆ්ගනිස්තානය​ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්තානය සමග ජුනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා. සංචිතය සදහා දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දඟ පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කර ඇති අතර, IPL තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

89ad4a464ee37b6be1e88780fe8be36a

දේශබන්දු තෙන්නකෝන්ගේ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 ප්‍රකාශයට පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සඳහන් කර තිබෙනවා. තමන්ව සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා. දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා විධිමත් කිරීම එහි අරමුණ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණය පහතින්.

041cb5eb5a3dcdd94e2ea65cde820d6c

ආගමික අසමගිය ඇතිකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව එම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි ආරක්ෂක අමාත්‍යංය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා ගාස්තුවක් අය කිරීමට අවධානය

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70% ක් රජයෙන් ලබා දීමටත්, ඉතිරි 30% ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම්, එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන්. මෙලෙස 30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වාසනීයත්වයක් ඇති කිරීම සඳහා ඵලදායී සංචාරයක ජනාධිපතිවරයා නිරත වූ බවයි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.