මාසිකව ලක්ෂයකට වඩා උපයන්නන් සහ ඇතැම් වෘත්තිකයන් අද සිට බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ

ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 කට වඩා ගෙවීමක් ලබන සියලු පුද්ගලයන් සහ ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන පුද්ගලයන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයන් ද, ව්‍යාපාර, දේපළ හෝ ඇතැම් වාහන හිමිකාරීත්වය දරණ පුද්ගලයන්ද මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්ය බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ලියාපදිංචි වීම අනිවාර්ය සියලු පිරිස පහතින්.

* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
* ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
* ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
* ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
* මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
* ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
* මාසිකව සේව්‍ය-සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු.20,000 ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
* දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
* ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 ක් හෝ වාර්ෂිකව රු.1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

මහ බැංකුව පොලී අනුපාත ලිහිල් කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14%ක් ලෙසත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 15.50% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 16.50% ක් ලෙසත් පැවතුණා.

පෙට්‍රල් මිල අඩු වුනත් ත්‍රීරෝද රථ ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියැදුරන්

පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිඳු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, ස්ථාවර වියදම් හා සෙසු සියලු වියදම් වැඩිවී ඇති බවයි.

ආණ්ඩුව විසින් ගාස්තු සමාලෝචන කමිටුවක් මඟින් ත්‍රීරෝද රථවල ගාස්තුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් මැදිහත් විය යුතු බවත් ගාස්තු අඩු කිරීමට හැකි ආකාරයෙන් ඉන්ධන මිල පහත දමා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IOC ඉන්ධන මිලද සංශෝධනය කෙරේ

ලංකා IOC ඉන්ධන මිල ගණන් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමානව සංශෝධනය කර ඇති බව එම සමාගම පවසනවා.

නව මිල ගණන් පහතින්.

b3d54f6e7f65c9cc579eb346c423cc10

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

අදාළ සංශෝධනය අනුව පෙට්‍රල් 95 ලීටරයක් රු.20 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රු.10 කින් ඉහළ දමා තිබෙන අතර පෙට්‍රල් 92 ලීටරයක් රු.15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු.385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු.340 ක් වන අතර පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු.318 ක් වනවා.

භූමිතෙල් ලීටරයක මිල රු.50 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.245 ක්.

සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

නව මිල ගණන් පහතින්.

c66c3b2858b5f3a601dc7cfe40de0940

IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහ බැංකු නිලධාරීන් සමගද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.300 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) දිනයේත් පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.287.87 ක් ලෙස හා විකුණුම් මිල රු.300.92 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

බෲනෝ දිවාකර අත්අඩංගුවට

SLVLOG නම් YouTube නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැය 8 ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

OnmaxDT ඇතුළු 8ක් පිරමීඩ යෝජනාක්‍රම ලෙස තීරණය කරමින් මහ බැංකුවෙන් නිවේදනයක්

තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින් බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

අදාළ ආයතන ලැයිස්තුව පහතින්.

* Tiens Lanka Health Care (Pvt) Ltd.
* Best Life International (Pvt) Ltd.
* Global Lifestyle Lanka (Pvt) Ltd.
* Mark-Wo International (Pvt) Ltd.
* V M L International (Pvt) Ltd.
* Fast 3Cycle International (Pvt) Ltd (F3C)
* Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
* OnmaxDT

මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම වලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙනවා.

අදාළ මහ බැංකු නිවේදනය පහතින්.

07edae933824255cb7a759d34f639deb

c1bccf98ec1b1ba95e1ccaa534ef8601

882d5dffacaad2d0e387d01748b42548