ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරියට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එන්. ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනය දක්වා කල් තබා තිබුණා.

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (06) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ජූනි 7 වැනි බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

අද දිනයේ සිවිල් ගුවන් සේවා පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ජුනි 15 සිට ඖෂධ මිල 16% කින් අඩු කිරීමට පියවර ගන්නවා – කෙහෙලිය රඹුක්වැල්ල

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හමුවේ ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කරන්න ඕනේ – සජිත්

වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට මෙහිදී තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවත්, මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තරුෂි කරුණාරත්නගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත්වී තිබෙනවා.

ඇය එහිදී දැක්වූ දක්ෂතාව විනාඩි 02:05.63 ක් ලෙසයි දැක්වෙන්නේ.

එසේම ඇය ඊයේ පැවති කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා.

ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් නවීකරණය කර ආයෝජන අවස්ථා ලබාදීමට අවධානය

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කොළඹ “ගෆූර් ගොඩනැගිල්ල” සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සඳහා හඳුනාගෙන ඇති බවත්, එම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ad87c3ea140b890cf70203b822d243bc

විකාශන අධිකාරී පනත සම්මත උනොත් රටේ මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම වෙනස් වනවා – ජී.එල්. පීරිස්

යෝජිත විකාශන අධිකාරී පනත ගෙන ඒමේ යෝජනාව හුදෙක් දේශපාලන තීන්දුවක් මත ගනු ලැබූවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව මෙම පනත සම්මත කරන ලද දවසේ සිට මෙරට ඇති මාධ්‍ය නිදහස පිළිබඳ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන බවයි අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම පනත සම්මතවී මාස තුනක් තුළ ගුවන්විදුලි, රූපවාහිනී ඇතුළු ආයතන නව බලපත්‍රයක් ලබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.298.85 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (05) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.285.61 ක් ලෙස හා විකුණුම් මිල රු.298.85 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් අගෝස්තු 11 වනදා දක්වා කල් තැබේ

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් අගෝස්තු මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට මෙහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මීගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්.