අන්තරේ අද කොළඹට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මාස 05 ක් වසා දමා ඇති බෞද්ධපාලි සරසවිය වහා විවෘත කරන ලෙස සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 39 හා ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එසේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිවද මෙම විරෝධතාව පවත්වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද (07) දහවල් 12.00 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කිරීමට නියමිතයි.

5453c2878c9c17675c4d3ddf530d0e05

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති ලෙස බන්දුල දිසානායක පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ෂේන් ප්‍රනාන්දු, තරංග පරණවිතාන හා ටිරෝන් විජේවර්ධන පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් සොයා බැලීමට නියමිතයි.

792ab26b06dd5aee133ed618598cce8b

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදේශ ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.

2023 ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට මරුතැන්කේනි පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තමා පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන තුරු තමාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කථානායකවරයා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ව්‍යවස්ථාවට අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතු නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ජුලි 25 දක්වා කල් යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු නමුත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.297.94 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (06) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.284.84 ක් ලෙස හා විකුණුම් මිල රු.297.94 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

සරල කරන ලද VAT බදු ක්‍රමවේදය 2024 සිට අහෝසි කිරීමට තීරණයක්

එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

b5c61c0914e07c511f1ba4acccc4ab04

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රි​යේ භූ කම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ රික්ටර් මාපකයේ 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පත්කෙරේ

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇති බව කතානායකවරයා පවසනවා.

ඒ අනුව 14 දෙනෙකුගෙන් යුත් එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

අදාළ සාමාජිකයන් පහතින්.

* ආචාර්ය සුරේන් රාගවන්
* ඩයනා ගමගේ
* මහාචාර්ය ජී.එල් පීරිස්
* නීතිඥ රවුෆ් හකීම්
* විජිත හේරත්
* ආචාර්ය සරත් වීරසේකර
* නිරෝෂන් පෙරේරා
* අජිත් මාන්නප්පෙරුම
* නිමල් ලාන්සා
* තුෂාර ඉඳුනිල්
* වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
* අකිල එල්ලාවල
* නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
* නීතිඥ මධුර විතානගේ

අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන මධ්‍යම කාරක සභාවේදී ඒකමතික තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ රැස්වී තිබෙනවා.

ඒ අනුව රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරන්නේ.

එහිදී මොන ආකාරයෙන් කටයුතු කළ යුත්තේද යන්න සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යන බවත් මෙම යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.