සාමාන්‍ය පෙළ සිසුවාට පහරදීමේ සිද්ධියට සිසුන් 06ක් අත්අඩංගුවට

කටුගස්තොට පාසලක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සැකපිට සිසුන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 06 වනදා සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින අතරතුරදී සැකකාර සිසුන් විසින් අදාළ සිසුවාට සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය 26.2% කින් ඉහළ ගොස් ඇති අතර එය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බවයි සඳහන් වන්නේ.
චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අද සිට විරෝධතා ආරම්භ කරයි

ජාතික ජන බලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ‍”ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන මැයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.
අද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වෙන එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ජුනි 21දා විවාදයට ගැනීමට තීරණය කෙරේ

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ජුනි 21දා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගත ඉන්ධන පිරවුම්හල් 1050 න් 423ක් පමණක් පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන තිබූ බව මෙහිදී අනාවරණය වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ඉන්ධනහල් 255ක් කිසිදු ඉන්ධන වර්ගයක් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවත් ඉන්ධනහල් 363ක් එක් ඉන්ධන වර්ගයක පමණක් අවම තොග පවත්වාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පිරවුම්හල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

2023 අවසන් වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරනවා – ෂෙහාන් සේමසිංහ

මෙම වසර අවසානය වන විට රටේ පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ, රජය බලාපොරොත්තු වන මට්ටමේ ස්ථාවරත්වයක් තවමත් ඇතිවී නොමැති බවයි.
මුදල් අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය කටයුතු කරන ආකාරයට මෙම වසර අවසාන වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිකර හැකි බවට විශ්වාස කරන බවත් ඒ තුළින් 2024 ආර්ථික වර්ධනයට අවශ්‍ය උත්තේජනය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලක තමා නිවැරදිකරු බවට ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ගොස් සිටියදී එරට කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවටයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔහුට එරෙහි නඩුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4 න් 3 ක් පසුගිය නඩු වාරයේදී ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

ආර්ථිකය ගැන සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර තාවකාලික සහනයක් ලබාදීමට රජය කටයුතු කරමින් ඉන්නවා – උත්තර ලංකා සභාගය

රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදීමට රජය උත්සාහ දරණ බව උත්තර ලංකා සභාගය පවසනවා.
ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේදී 4.2% කින් පමණ හැකිළෙනු ඇති බවට ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ.
එසේම රුපියලේ මිල ඉහළ නැංවීමට කටයුතු කරන්නේ කෘතිම ආකාරයෙන් බවට හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.
රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදී පාලකයින්ගේ අරමුණුවලට යාමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් රාජකාරියට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පොලිස් රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.