වියළි කාලගුණයෙන් 90,000ක් පීඩාවට පත්වෙයි

පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වල දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

පවුල් 27,885කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු එලෙස පීඩාවට පත්වී ඇති අතර වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ පවුල් 21,714කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා.

මීට අමතරව සබරගමුව පළාතේ පවුල් 1,098කට අයත් පුද්ගලයින් 5,734 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1,726කට අයත් පුද්ගලයින් 5,655 දෙනෙකු සහ නැගෙනහිර පළාතේ පවුල් 2,747කට අයත් පුද්ගලයින් 8,983 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු යළි වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවයි.

විදුලිය ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගාස්තු ඉදිරිපත් කිරීම නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇති බවද අදාළ ලිපිය මඟින් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

පසුගිය මස 21 වනදා යොමුකළ එම ලිපිය මගින් විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ තාප ජනනය මගින් විදුලිය නිෂ්පාදනය ඉහළ යාම, විදුලිය සඳහා ඉල්ලුම ඉහළයාම සහ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවයි.

ඒ අනුව, 2023 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 33කින් සිය ආදායම වැඩි කරගැනීමට විදුලි බිල සංශෝධනයක් කළ යුතු බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පසුගිය වසර 5 තුළ මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 4,281ක් බවට විගණන වාර්තාවක්

2017 සිට 2022 දක්වා වසර 5 තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාව දැක්වෙනවා.

2022 වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

එම වසරේදී එහි මෙහෙයුම් පිරිවැය කෝටි 203ක් ලෙස වාර්තාවේ දක්වා ඇති අතර, එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බවද එම විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කෙරේ

අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම පහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ජලාශයේ සක්‍රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවද, එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 ක් බවද ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර පවසනවා.

එම ජලය වගාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද, වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතු බවද ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා.

බිත්තර හා කුකුළු මස් කර්මාන්ත සඳහා විදෙස් ආයෝජකයින් දෙදෙනෙක්

මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්ත වෙනුවෙන් විදේශීය ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඉන්දියානු ආයෝජකයින් දෙදෙනෙකු මෙලෙස ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් ක‌ළේ.

අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 450ක්

මෙරට ඩිජිටල්කරණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලමක් වන, අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පතක් (Unique Digital Identity) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවද, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවද ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට පත්කර ඇති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව සඳහන් කරනවා.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක්, එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වෙත බාරදී ඇති බව වාර්තා වෙනවා.

දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් මෙරටට

මේ වන විට දෛනිකව බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසවා.
එම සියලු බිත්තර ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද, ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසල් හරහා ඇසුරුම් කරන ලද බිත්තරයක් රුපියල් 42කට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා.
කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

හෙද පත්වීම් ගැන කවුරුහරි ජනාධිපතිතුමාට කේවට්ට උපදෙසක් දීලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද හිඟයක් පැවතීම නිසාවෙන් මෙලෙස කව්රුන් හෝ දුර දිග නොබලා ජනාධිපතිවරයාට කේවට්ට උපදෙසක් ලබා දී ඇති බවද, උසස් හෙද සේවයක ප්‍රයෝජනය ඇත්තේ රෝගියාට බවද එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.
මෙම යෝජනාව ප්‍රකාශ කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවන බවද, එය හකුළා ගැනීමට පියවර නොගතහොත් දිවයින පුරා හෙද නිලධාරී වැඩවර්ජනවලට සහ විරෝධතාවලට යොමු වීමට සිදුවන බවද එහ හිමියන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බ්‍රේල් ක්‍රමයට එළිදැක්වේ

එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත බ්‍රේල් ක්‍රමය ඔස්සේ පිළිගන්වා තිබෙනවා.
එම පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙලෙස බ්‍රේල් ක්‍රමය ඔස්සේ එළිදක්වා ඇති අතර, මෙරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත පිළිගැන්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

නුවරඑළියේ කඳු නැගීමට පෙර අවසරයක් ලබාගැනීම අනිවාර්ය කෙරේ

මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා අවසරයක් ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසරය ලබාගත යුතු බවද, එලෙස ලබාගත් අවසරය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසර හිමිවන බවද ඔහු සඳහන් කරනවා.
ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව පසුගියදා මළ සිරුරක් සොයාගැනීමෙන් පසු, ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.