ජලය නිදහස් කිරීම ගැන විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ගයේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර හමුවක් ඊයේ (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව සමනළ වැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
එහිදී ගත් තීරණ අනුව විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා කල සහ යෝජනා කරන විසඳුම් අද (07) සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම 0.45% ක් දක්වා පහළට

මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ ගිය අඩුම ජල මට්ටම අද (07) වාර්තාවී තිබෙනවා.
උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම 0.45% ක් දක්වා පහළ ගොස් ඇති බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව අක්කර අඩි 217,800 ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අක්කර අඩි 956 ක් දක්වා පහළ බැස ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පුහුණු ගුවන්යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27 ට පමණ ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (07) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 315.05 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.57 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට Pat Cummins පත්කර තිබෙනවා.

මෙම සංචිතයෙන් මැද පෙල පිතිකරුවෙකු වන Marnus Labuschagne ඉවත්කර ඇති අතර මෙතෙක් එක්දින වරම් දිනා නොමැති පාදඟ පන්දු යවන ක්‍රීඩක Tanveer Sangha හා තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie මෙන්ම Nathan Ellis ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මෙම සංචිතයේ ක්‍රීඩකයින් පළමුව දකුණු අප්‍රිකාවේ දී තරග 5 කින් යුත් එක්දින තරගාවලියක් ද, අනතුරුව ඉන්දියාවේ දී තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,

64d08f80a49c8

වව්නියාව බන්ධනාගාරය තුළ පැනවූ සංචරණ සීමා ඉවතට

වසංගත රෝගී තත්ත්වයක් නිසා වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබුණු සංචරණ සීමාවන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලඳීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බවට වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන්  දැනුවත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

‘මතුවෙන්න’ – ජය ශ්‍රී ලගේ ඩයමන්ඩ් කතාව දකින්න

ජය ශ්‍රී ලා කියන්නේ කවදත් තමන්ගේම වුණු අනන්‍යතාවයක් තුළින් සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණ කරන දෙන්නෙක්. වැඩි කාලයක් ලංකා‍වේ නොරැඳුණත් ජය ශ්‍රී ලා කාලෙන් කාලෙට ලංකාවට ඇවිල්ලා තමන්ගේ අලුත් නිර්මාණ රසිකයින් අතට පත්කරනවා.

පහුගියදා ජය ශ්‍රී ලා ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න – The Diamond Story’ ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදැක්වූවා. අපේකම අගයන ජය ශ්‍රී කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ ගායනා කරන ගීත වෙනුවට කාලෙකට පස්සේ නිර්මාණය කරපු ඔවුන්ගේම ගීතයක් විදියට මේ ‘මතුවෙන්න’ ගීතය හඳුන්වන්න පුළුවන්.

‘සිව්කොණ එකතුවෙලා

ජය කණුව සොයනා වෙලේ

සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍

ජයගන්නට හැකි තුරුම්පුවක් වී

ලොවටම පෙන්වන්න

මතුවෙන්න – පණදෙන්න

රුවි‍තේ – විඳගන්න

ජයගන්න’

දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නැගී සිටින්න කියන ආරාධනයත් ජය ශ්‍රී ලා මේ ගීතයෙන් කරනවා. ජයගන්නට හැකි තුරුම්පුවක් නැගිටින්න යනුවෙන් ඔවුන් මේ ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි. ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෑත කාලවේ ජනප්‍රිය ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා වුණු රැප්සිලා (සාරංග දිනේෂ්) මෙහි සංගීත නිර්මාණයට දායක වී තිබෙනවා.

ලංකාවේ තිබෙන සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවක මෙහි රූපගත කිරීමේ කටයුතු සිදුකරලා තියෙනවා. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය ඒ අතරින් විශේෂයි.

ඒවගේම, මේ ඩයමන්ඩ් කතාවේ තියෙන අනෙක් විශේෂත්වය වෙන්නේ සමස්ත ගීතයම ඩයමන්ඩ් තේමාව අනුව යමින් නිර්මාණය කර තිබීමයි. ගීතය පුරාම ඩයමන්ඩ් සංකේතත් දැකගන්න ලැබෙනවා. ගම හෝ නගරය යනුවෙන් කිසිම වෙනසක් නැතිව මේ ඩයමන්ඩ් සංකේතය දැකගන්නට හැකිවෙනවා. මේ ඩයමන්ඩ් කතාව ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් අද වෙද්දී දැකබලාගන්නට හැකියි.

ජය ශ්‍රී ලා කියන විදියටම කිසිම භේදයක් නැතිව හිතවත්කම් වලින් පිරී අනාගතය දකින යහපත් මිනිස්සු වෙන්නටයි  මේ ආරාධනය.

https://www.youtube.com/watch?v=S-1ojnwe1qY

Ruvitha_Jayasri_8 Ruvitha_Jayasri_4 Ruvitha_Jayasri_5 Ruvitha_Jayasri_6 Ruvitha_Jayasri_10

 

වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා Online ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමට පියවර

මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ වන විටත් පළාත් පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එම පළාත් පාලන ආයතන තුළ වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලබනවා.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වියළි කාළගුණයත් සමඟ ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු පවසනවා.

ඒ අනුව විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

විජලන තත්ත්වයෙන් මිදීම සඳහා ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බවත් උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන්ට දහවල් සහ සවස විනාඩි 20 ක කාලයක් නෑමට අවස්ථාව ලබාදෙන ලෙසද ඔහු සඳහන් කළා.

සමේ රෝගවලද වැඩිවීමක් ඇතිවිය හැකි බවත් වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla Aura කණ්ඩායමට ආරාධනා කළා.

ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් රැස්  කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 182 ක් පමණයි.

ඒ අනුව Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති තරගය ලකුණු 10 කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්  වුණා.

ඊයේ දිනයේ දෙවන තරගය Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

Jaffna Kings කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.