Asia Cup 2023 : ඉන්දීය සංචිතය නම් කෙරේ

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති තිලක් වර්මා ද නම් කර ඇති අතර, ආබාධවලට ලක්ව සිටි KL Rahul හා Shreyas Iyer ද සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධ හේතුවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah ද ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.

64e338e21ac33

විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් වංචා ක​ළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු 813,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව ඔහු වංචාකර ඇති මුදල රු 8,390,000 ක් බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර තිබෙනවා.

දැන් ඉතිං නාමල් රාජපක්ෂට භාරදෙන්න තියෙන්නේ රට තමයි – තිස්ස කුට්ටිආරච්චි

නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා බාරගත් සියලු අමාත්‍යංශ සාර්ථකවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඔහුට බාරදීමෙන් පසු සාර්ථකවූ බවද, එම නිසා දැන් ඔහුට බාරදීමට ඇත්තේ රට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් සඳහන් කළේ.

තවද පවත්වන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා

IMF කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ 35% ක් පමණයි – Verite Research

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් ගිවිසුමේ කොන්දේසිවලින් 35% ක් පමණක් සම්පූර්ණ කර ඇති බව Verite Research ආයතනය පවසනවා.

වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වාදී ඇත්තේ, මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ 57% ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ඉටුකර ඇත්තේ 35% ක් පමණක් බවයි.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර 71% ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මසකට කොන්දේසි 18 බැගින් ඉටු කිරීමට රජයට සිදුව ඇති බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

මේ වන විට සම්පූර්ණ කර ඇති හා සම්පූර්ණ කිරීමට ඇති කොන්දේසි ලැයිස්තුව මෙතැනින්.

HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම WhatsApp හඳුන්වාදෙයි

WhatsApp සඳහා නව විශේෂාංගයක් එක් කර ඇති බවට Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම මෙලෙස හඳුන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔබ WhatsApp ඡායාරූපයක් යොමු කිරීමේදී HD ලෙසද නැතහොත් සාමාන්‍ය ආකාරයෙන්ද යන්න තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 6 කට පසු අවලංගුවීමේ රෙගුලාසි ඉවත් කෙරේ

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවත්, යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කාලසටහන පහතින්. (උපුටාගැනීම: RDMNS)

64e2efc167d57

LPL 2023 : අවසන් මහා තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වෙනවා.

ඒ අනුව B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.30 ට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06.00ට ආරම්භ වනවා.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මස් මාංශ අනුභවය ගැන දැනුම්දීමක්

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කිරීම සිදුකරන බවත් එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.