රටේ මුල්‍ය බංකොලොත්භාවය සොයන කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස එස්.බී. දිසානායක පත් කෙරේ

රටේ මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාව සඳහා තවත් සාමාජිකයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පත්කර ඇති බවයි කතා නායකවරයා පාර්ලිමේන්තුව දැනුම් දුන්නේ.

රටේ මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පත් කර තිබුණා.

අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වයක්

අද (22) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64e44055be1e6 64e44055b521c

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

මෙම සතිය සඳහා අද (22) දිනයේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට දෛනිකව හෘද රෝගීන් 170 ක් වාර්තා වනවා – විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.

මේ වන විට දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපයක් පුරා ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් ඇති බවත් පවතින ජීවන රටාව සහ ආහාර රටාව මෙම හෘද රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ ගන්නා ආහාරවල බහුල ලෙස සීනි අඩංගු වන අතර මෙරට පුද්ගලයෙක් වසරකට සීනි කිලෝ 30 ක් භාවිතා කරන බවත් තෙල් සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගැනීමද මෙලෙස හෘද රෝගීන් වැඩිවීමට හේතුවන බවයි විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට තීරණය කෙරේ

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේදී යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම ගැන විශේෂ විමර්ශනයක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ සියලු රැඳවියන්ට මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දී ඇති බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර රෝගී වූ 5 ක් රෝහල් ගතකර තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.

රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැරේ සජීවී විකාශය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරහැර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

හෙට (22) දිනයේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් හමුවී තිබෙනවා.
ඒ අනුව සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) හමුවී තිබෙනවා.
එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.