කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට අද (01) තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බස් ගාස්තු රුපියල් 10ක් හෝ 15කින් වැඩි කළ යුතුයි – බස් සංගම්

ඉන්ධන මිල වැඩි වීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව බස් රථ හිමියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (01) ප්‍රවාහන බලධාරීන් සමඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි එම සංගම් සඳහන් කරන්නේ.

ලංකා පෞද්ගලික බස් එථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ රුපියල් 10 ක් හෝ 15 කින් ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් පාඩුව දරාගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

වාණිජ බැංකු තවමත් පොලී අනුපාත අඩු කර නැහැ – ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය පවසනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍රලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත ලැබී නොමැති බවට එම බැංකු විසින් ප්‍රකාශ කර ඇති බවයි.

ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Sinopec ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරයි

Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – (නව මිල රු.358)

* පෙට්‍රල් 95 – (නව මිල රු.414)

* ඔටෝ ඩීසල්  – (නව මිල රු.338)

* සුපර් ඩීසල් – (නව මිල රු.356)

* භූමිතෙල් – (නව මිල රු.231)

64f1760fd025epdf_page_0

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් (01) අවසන් වනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වනවිට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය තුළ www.elections.gov.lk වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සීනිගම පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර අද (01) සිට ලබන 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමං හන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින්, විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ඊයේ (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64f1377869b19pdf_page_0

මාස තුනක් තුළ දුම්රිය හරස් මාර්ගවල අනතුරු 53 ක් වාර්තා වෙයි

මෙම වසරේ පළමු මාස තුන තුළදී පමණක් දුම්රිය හරස් මාර්ගවල දී අනතුරු 53ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ අනතුරුවලින් පුද්ගලයින් 4 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පසුගිය වසරේ සිදුවූ අනතුරු 94 කින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා දුම්රිය හරස් මාර්ග 1,362 ක් පවතින අතර, ඒ අතරින් දුම්රිය හරස් මාර්ග 289 ක් තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි සඳහන් වන්නේ.

තවත් දුම්රිය හරස් මාර්ග 300 ක් සම්පූර්ණ ආරක්ෂිත තත්ත්වයේ පවතින අතර, සීනු සහ විදුලි පද්ධති මගින් ආවරණය කෙරෙන හරස් මාර්ග ගණන 438 ක් පවතින බවද සඳහන්.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත සෑම දුම්රිය හරස් මාර්ගයකටම ගේට්ටු යෙදීමේ හැකියාවක් නොමැති බවයි දුම්රිය බලධාරින් පෙන්වා දෙන්නේ.

Asia cup 2023: පන්දුවාර 30 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 121/4

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටිනවා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින Najmul Hossain Shanto ලකුණු 64 ක් හා Mushfiqur Rahim ලකුණු 12 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දසුන් ශානක හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.