ඔන්ලයින් කෙටුම්පත : ඇමැති ටිරාන් කියන්නේ බොරු – කෙටුම්පත සම්මත කළොත් ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉවරයි – ආසියානු අන්තර්ජාල සන්ධානය

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන බව ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition-AIC) ප්‍රකාශ කරයි.

තම සන්ධානය දායකත්වය ලබාදී ඇත්තේ නිර්මාණාත්මක සහයෝගීතාව වෙනුවෙන් පමණක් බවත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ලබාදීමට පෞද්ගලිකව කටයුතු කර නැති බවත් AIC ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ටිරාන් අලස් ඇමතිවරයා කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් AIC මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් AIC වැඩිදුරටත් සිය බිවෙදනයෙන් අවධාරණය කර ඇත.

“පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.” යැයි AIC සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ

WhatsApp Image 2024-01-24 at 08.28.46

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ බලය ලබාදී ඇති බවයි.

මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත්, මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

වෛද්‍යවරුන් හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාවය මත කැබිනට් මණ්ඩලය අනුමත කර ඉහළ දැමූ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මාසය තුල ලබාදීම අවහිර කිරීමේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි සැලැස්ම පිළිබඳව හෙට උදෑසන රැස්වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65af8a2bd126d

යෝජිත Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් ඇරඹෙයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත පිළිබඳ මහජන මතය විමසීම සඳහා IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව SMS ජනමත විචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම් “OSB YES” ලෙසද, සම්මත ‍නොකළ යුතු නම් “OSB NO” ලෙසද 0767001001 යන අංකයට SMS පණිවිඩයක් යොමුකිරීමට මහජනතාවට හැකියාව තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

විපක්ෂ මැතිවරණ ව්‍යාපාර අඩාල කිරීමට, දූෂණ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට මෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමට මෙම පනත් කෙටුම්පත අවභාවිතා කළ හැකි බව අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙරට දේශීය තොරතුරු තාක්ෂණ සමාගම් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය Google Apps, Office 365, AWS වැනි ඔන්ලයින් සේවාවන් අදාළ පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර තිබෙන ආකාරය හේතුවෙන්, එම සේවාවන් ශ්‍රී ලංකාවට සීමා කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය සහ දැනුවත් කිරීම පහතින්.

65af7c571042e 65af7c5671792

Online Safety පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුව අසල මහජන විරෝධතාවක්

Online සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මහජන විරෝධතාවක් අද (23) උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසලදී පවත්වා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමට හා ව්‍යවසායකයින් සහ නිර්මාණකරුවන්ගේ වෘත්තීන් අනතුරේ හෙළීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය සඳහා සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සහ මහජනතාව එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

65af7f2f9f498 65af7f32f376b 65af7f31023b6 65af7f3025df3

ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය 2024.01.22 වන දින ආරම්භ කරන ලදී.

ඒ අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125 ක් හදුනාගෙන එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී ඇත.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනාධිපතිතුමා සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳ කළ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිය මතකයන් සිහිපත් කළේය.

2007 – 2010 කාලසීමාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමීපව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර සන්තොෂ් ජාහ් මහතා බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.

දයාසිරි ජයසේකරට නිකුත් කළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා.

මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් අදාළ විරෝධතා ගොනුකිරීමටද අධිකරණය වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අතර, පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කරන ලද බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

දයාසිරි ජයසේකර විසින් වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

2023 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු​ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර ඇති බවයි සඳහන් වන්නේ.

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවයි

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සැකකරුවන් කවුරුන්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවයි.

ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත සිදුවූ දෙයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.