විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ධීවරයෙක් මරුට

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රහණය වීම නිසා එක් ධීවරයෙක් මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇති බවත්, පසුව එයින් එක් පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවත්, සෙසු ධීවරයින් 07 දෙනා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය වැඩිදුරටත් පවසනවා.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (07) සිට ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234 ක් අනියුක්ත කර ඇති බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

එසේම, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

වැඩ තහනම් කළ අය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලි සේවකයන් උද්ඝෝෂණයක

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

වැඩ තහනම් කළ සියලුම විදුලිබල මණ්ඩල සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමින් අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වුණා.

මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.

අනුර කුමාර දිසානායකත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳයි – රෝහිත

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳ ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහුගේ ඉන්දීය සංචාරය සිදුකරන විට සිහිපත් වන්නේ 88-89 කාලයේ ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන බවට සඳහන් කරමින් කටයුතු කළ ආකාරය බවත්, එම අවස්ථාවේදී මිනිසුන් මරණයට පත් කර ඇතිකළ ඉන්දීය විරෝධය, ලෙංගතු කමක් බවට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඔවුන් එලෙස වෙනස් වන්නේ නම් එය හොඳ ප්‍රවණතාවක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මෙම වෙනස්වීමේ ස්වභාවය දෙස බැලීමේදී ගැටලුවක් මතුවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළට – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මෙම සංචිත ප්‍රමාණයට චීන හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 ක් මරුට

පාකිස්තානයේ Balochistan පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙවන පිපිරීමෙන් කිලෝමීටර් 150ක් මණ දුරින් පිහිටි කිල්ලාහ් සයිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 8 ක් පමණ මියගොස් ඇති බවද සඳහන්.

පිපිරීම් දෙකෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අද මහ බැංකුවේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65c348df93c74pdf_page_0

ඉන්දියානු සංචාරය – තෙවන දිනය

 

ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය Balvantsinh Rajput මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වනු ලැබූ අතර ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදු විය. බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වේ.

අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද සිදුවිය.

WhatsApp Image 2024-02-07 at 17.26.47 WhatsApp Image 2024-02-07 at 17.27.01

ගල්කිරියාගම ජාතික නාමල් උයනේ 33 වන සංවත්සරය නිමිත්තෙන් ජපන් ජාතිකයින් විසින් සංවිධානය කරනු ලබන කිලෝ මීටර් 100ක පරිසර පා ගමන හෙට(08) උදෑසන ජාතික නාමල් උයනේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ගල්කිරියාගම ජාතික නාමල් උයනේ 33 වන සංවත්සරය නිමිත්තෙන් ජපන් ජාතිකයින් විසින් සංවිධානය කරනු ලබන කිලෝ මීටර් 100ක පරිසර පා ගමන හෙට(08) උදෑසන ජාතික නාමල් උයනේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ජපානයේ NPO Happy New Earth සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන මෙම පරිසර පා ගමන සංවිධානය කර තිබේ. හෙට (08) උදෑසන 08.00 ට ගල්කිරියාගම ජාතික නාමල් උයන පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන එම පා ගමන, ලබන 12 වැනිදා සීගිරිය පර්වතය අසළීන් නිමා කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.
ජාතික නාමල් උයනෙන් ආරම්භ කර දුශ්කර වූ මාර්ග ඔස්සේ කිලෝ මීටර් 100 ක දුරක් ගෙවා ඓතිහාසික සීගිරිය පර්වතය අසළින් එම පා ගමන නිමා කිරීමට නියමිතය. මෙම පා ගමන පුරා දින 05ක් මුළුල්ලේ පැවැත්වේ. ඒ අනුව දිනකට කිලෝ මීටර් 20ක දුරක් එම පාගමන ගමන් කිරීමට නියමිතව තිබේ.
පරිසරය සුරැකීම ලෝක වාසී ලොකු කුඩා සැමගේ වගකීම බවට සියළු ලෝක වාසීන්ට පණිවිඩයක් දීමේ අරමුණින් ජපන් ජාතිකයින් විසින් මෙම පරිසර පා ගමන සංවිධනය කර ඇති බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවැසූහ.
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දස ලක්ෂ පන්සිය පනහකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෝකප්‍රකට දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය පිහිටා ඇත්තේ ද ගල්කිරියාගම පිහිටි ජාතික නාමල් උයනේ ය.
කාලයේ ඇවෑමෙන් අභාවයට යමින් තිබූ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා නිධිය සහිත මෙම ජාතික නාමල් උයන දහසකුත් එකක් වූ බාධා හිරිහැර කම්කටොලු වනසතුන්ගේ පීඩා මෙන්ම විවිධ දුශ්කරතා මැද මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සදහා පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කටයුතු ආරම්භ කර ලබන මාර්තු 28 වැනි දිනට වසර 33ක් සම්පූර්ණ වේ.

WhatsApp Image 2024-02-07 at 14.56.33 (2) WhatsApp Image 2024-02-07 at 14.56.33 (1) WhatsApp Image 2024-02-07 at 14.56.33 WhatsApp Image 2024-02-07 at 14.56.32 (6) WhatsApp Image 2024-02-07 at 14.56.32 (5) WhatsApp Image 2024-02-07 at 14.56.32 (4) WhatsApp Image 2024-02-07 at 14.56.32 (3) WhatsApp Image 2024-02-07 at 14.56.32 (2) WhatsApp Image 2024-02-07 at 14.56.32 (1) WhatsApp Image 2024-02-07 at 14.56.32
කැකිරාව කුෂාන් ජයවර්ධන

24-02-07