කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් අපේ අපේක්ෂකයාට විතරයි – රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වෙනත් ඕනෑම අපේක්ෂකයෙකු සිය වැඩ පිළිවෙළ ජනතාව ඉදිරියට ගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ Observer Research Foundation බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (Think Tank) හමුවී තිබෙනවා.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයක් බවයි සඳහන් වන්නේ.

අනතුරුව ඔවුන් ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නිරීක්ෂණය කර ඔවුන් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇති බව වාර්තා වෙනවා.

රෝහල්වලට සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට ජපානයෙන් ආධාර

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම, සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65c20c74e5eca

අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තව කාලයක් යනකම් වාහන ආ​නයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි අද (06) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව හා අනෙකුත් ආයතන විසින් ලිහිල් කරන දෑ පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.