ව්‍යවසායකත්ව අදහස් අගයන Mora Ventures 6 වන අදියර සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන Mora Ventures නව්‍ය ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් කිරීමේ තරඟාවලියෙහි 6 වන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙරට නව ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් උදෙසා වේදිකාවක් තනා දෙන මෙම තරඟාවලිය සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම ක්ෂේත්‍රයක අයෙකුට හෝ කණ්ඩායමකට අයදුම් කළ හැකි බවයි එම තරඟාවලිය සංවිධානය කරන මොරටුව විශ්විද්‍යාලයේ ව්‍යවසායකයින්ගේ සංගමය පවසන්නේ.

අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 25 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර වැඩි විස්තර entrepreneurship.uom@gmail.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකි බව ඔවුන් දැනුම් දෙනවා.

අයඳුම්පත් මෙතැනින් යොමු කළ හැකියි.

අනුර ඇතුළු පිරිස කේරලයේ Vikram Sarabhai අභ්‍යාවකාශ මධ්‍යස්ථාන​යේ සහ Technopark හි සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ අද (09) සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve සාකච්ඡා පවත්වා තිබෙන ඔවුන්, ඉන් අනතුරව ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරන Vikram Sarabhai අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී එහි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

පසුව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technopark හි ද ඔවුන් සංචාරයක නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව GTech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගිවී ඇති ඔවුන් කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වී තිබෙනවා.

65c630ea7af98 65c630ea6ecd0 65c630ebbe230 65c630ea8fb5f 65c630ea9e124

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය නැවතත් හර්ෂට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

කිරි මණ්ඩලයේ ගොවිපොළ නිරීක්ෂණය​ට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් මෙරටට පැමිණේ

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිත පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.

මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ අතර එයට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ගොවිපල 31 ක් ඇති අතර ඒවායේ භූමි ප්‍රමාණය අක්කර 28,000 කට අධික බවත්, පැමිණි පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බවත්, එම කණ්ඩායම විසින් මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කරනු ඇති බවයි පැවසෙන්නේ.

එම ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනාකම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවත්, එම කටයුතු මේ වනවිට 80% කින් පමණ අවසන් කර ඇති බවත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

නාමල් රාජපක්ෂ යෝගී ආදිත්‍යනාත් සමඟ සාකච්ඡා පවත්වයි

දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන ඇමැති යෝගි ආදිත්‍යනාත් සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

නාමල් මේ වන විට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයේ දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ගොස් සිටින්නේ අයෝධ්‍යාවේ රාම් කෝවිලේ පූජාවකට සහභාගී වීමටය.

SL vs AFG 1st ODI : ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 45 ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad කඩුලු 2 ක් හා Mohammad Nabi එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ලකුණු පුවරුව පහතින්.

65c625ff3c968

SL vs AFG 1st ODI : පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී පන්දු 135 කින් වේගවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ ද්විත්ව ශතකය සඳහා හයේ පහර 7 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත් වුණා.

SL vs AFG 1st ODI : පැතුම් ලකුණු 150 වාර්තා කරයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක පන්දුුු 116කින් ලකුණු 150 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ සඳහා හයේ පහර 4 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43 ක් තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 296 ක් ලබා සිටිනවා.

SL vs AFG 1st ODI : පැතුම්ගෙන් ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී පන්දු 88 කින් ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ  ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 201 ක් ලබා සිටිනවා.