අගෝස්තු මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්රෝ සමාගම

අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සඳහාත් ගෑස් අලෙවිය සිදු කරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මෛත්‍රී සහ දුෂ්මන්තගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.

නීති විරෝධී විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ AK 407 දරණ යානයෙන් විද්‍යුත් දුම්වැටී තොගය සහිත ගමන් මලු කිහිපයක් සැකකරු විසින් එවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔහු එම ගමන් මලු රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අදාළ විද්‍යුත් දුම්වැටි තොගය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හමාස් ප්‍රධානියා මරුට

හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හමාස් ප්‍රධානී Ismail Haniyeh ඉරාන අගනුවරට පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා හා දේශපාලන මණ්ඩලය අද (31) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සඳහන් කළේ.

අද රටේ ඕන කෙනෙක්ගෙන් අහන්න, මේ Team එකට විතරයි කරන්න පුළුවන් – රනිල්

2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂගෙන් බවත් එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66a9ab4acef3e

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ජනපති රනිල්ට සහාය පළ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබෙනවා.

ඒ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකදී බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර හා S.M. චන්ද්‍රසේනගේ සහාය රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

අද (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද, තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ.

එසේම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද සඳහන් කරන්නේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

Olympic Games : කයිල් අබේසිංහට මූලික වටයේ තරගයෙන් 8 වන ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුණා.

එහිදී ඔහුට 8 වන ස්ථානය හිමිවී ඇති අතර සමස්ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිවී ඇත්තේ 54 වන ස්ථානයයි.

ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.