බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවර නිල නිවසින් ඉවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇය බංගලාදේශයෙන් නික්ම ඉන්දියාවේ අගර්තාලා නගරයට පිටව ගොස් ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට විරෝධතා දැඩි ලෙස උත්සන්න වී තිබුනා.

ජාතික ජන බලවේගයේ 3%, 5%ට වැඩිවෙලා, එච්චරයි – හිරුණිකා

ජාතික ජන බලවේගයට තිබූ රැල්ල මේ වන විට අඩුව ගොස් ඇති බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ඡන්ද 3% කට වඩා මඳක් වැඩිවී, 5% ක් පමණ වනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

අද වන විට දේශපාලනය අච්චාරුවක් බවට පත්ව ඇති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් පවසා සිටියා.

කේරළ ගංජා තොගයක් ඉරණතිව් දූපතේදී නාවික හමුදා භාරයට

කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ පසුගිය 04 වනදා දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 207 ක අධික තොගයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

ඊයේ (04) දින කිලිනොච්චිය ඉරණතිව් දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම දූපතේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු උර හයක මෙම කේරළ ගංජා තිබු බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 82කට අධික බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය දැමීමට පහසුකම් සලසා ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම පුවත අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය පුවතක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීතිරීතී අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ තමා ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හා තැපැල් ඡන්ද හිමිකම් ඇති අයෙකු නම් තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ ඡන්දය භාවිතා කිරීමෙන් බවයි සඳහන් වෙන්නේ.

2024 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්ද හිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා වේලාව සඳහන් නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙන බවත්, එහි සඳහන් ඡන්ද පොළ හැර පරිබාහිර ඡන්ද පොලකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66b06a520e05e

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මේ අතර, අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් ද කොමිසම හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බංග්ලාදේශය තුළ යළි ඇති වූ විරෝධතාවලින් පුද්ගලයින් 90ක් මරුට

බංග්ලාදේශයේ යළි ඇති වී තිබෙන විරෝධතා හා කලහාකාරී සිදුවීම් අතරතුර මේ වන විට පුද්ගලයින් 90 ක් මිය ගොස් ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගමැතිනි ෂෙයික් හසීනාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (04) පස්වරු 6.00 ට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

රැකියා සඳහා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ජුලි මාසයේ සිට මෙම ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූ අතර එතැන් සිට වඩාත් පුළුල් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට මේ වන විට පරිවර්තනයවී තිබෙනවා.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

SL vs IND 2nd ODI : ඉන්දියාවට ලකුණු 241 ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු  ලකුණු 40 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3 ක් හා Kuldeep Yadav කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 241 ක්.

ලකුණු පුවරුව පහතින්.

66af787e2c5ca

SL vs IND 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.