ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය ගෘහස්ත කාණ්ඩයට ජල ගාස්තුව 7%කින්, රජයේ රෝහල් සඳහා 4.5% ක් පාසල් සහ පූණ්‍ය ආතන සඳහා 6.3 ක් ලෙස ජල ගාස්තු පහළ දැමීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

විදුලි ගාස්තු අඩු කිරීම, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66bb23d56b6d4

දුම්රිය ස්ථානවලට සූර්යය පැනල සවි කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ස්ථාන හා ගොඩනැඟිලි වල වහලයේ සූර්ය පැනල සවිකර පවත්වා ගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය ස්ථාන 300කට අධික සංඛ්‍යාවක් පවතින අතර, ඒවායේ වහල මත සූර්ය බලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66baffd49b287

දිලිත් ජයවීර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ව්‍යාපාරික දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ග්‍රාම නිලධාරී වර්ජනය අදත් ක්‍රියාත්මක වෙයි

නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බල කරමින් අද (13) දිනයේ ද සියලු සේවාවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසනවා.

අදාළ ගැටලුව පිළිබඳව ඔවුන් ඊයේ (12) බලධාරීන් සමග සාකච්ඡාවක් කළ අතර, එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි  ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Facebook සහය කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණයක්

Facebook සහය කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසනවා.

පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල සඳහන් කළේ.

Facebook පරිශීලකයින්ගේ Facebook ගිණුම හෝ Page එක තාවකාලිකව අත්හිටුවා ඇති බවට මොවුන් Facebook සහය කණ්ඩායමකින් එවන පණිවිඩයක් ලෙසින් ව්‍යාජ පණිවිඩ එවන බවද, එම ගිණුම් හෝ Pages නැවත ලබා ගැනීමට යම් මුදලක් සහ පුද්ගලික තොරතුරු ලබා දිය යුතු බව දන්වා සිටින අතර, ඊට රැවටී එම තොරතුරු ලබාදෙන්නන් මෙම ජාවාරමට හසුවන බවද ඔහු සඳහන් කළා.

එබැවින් යම් හෙයකින් ඔබේ Facebook ගිණුම හෝ Page එක තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවද මෙැවනි පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙසයි ඔහු සඳහන් කළේ.

ICC ජුලි මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු තේරී පත්ව තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ පසුගිය මාසයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කුසලානය ජය ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වෙයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළ අද (12) අවසන් වුණා.

ජූලි 26 වනදා ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උලෙළ පුරා දින 15කට වැඩි කාලයක් පැවැත් වුණා.

මේ සඳහා ක්‍රීඩා 32කට අදාළව තරඟ 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබුණා.

ඔලිම්පික් උළෙල අවසානයේ එක්සත් ජනපදය රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය දිනාගත්තා.

දෙවැනි ස්ථානය ලෙස රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් ලෙස පදක්කම් 91ක් චීනය දිනා ගෙන තිබුණා.

ජපානය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනා ගනිමින් පදක්කම් 45 ක් ලෙස තෙවැනි ස්ථානය දිනා ගෙන තිබුණා.

මීළඟ ඔලිම්පික් උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දෙකක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට දින නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දෙයි

නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලි සබ්රි දිවුරුම්දී තිබෙනවා.

නාමල්ට අභියෝගය තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එක්ක – ප්‍රසන්න රණතුංග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද, එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මේ වන විට තරගය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.