තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මරදානේදී දුම්රියක් පීලි පනියි

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26 එළිදකී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26 වන සඳුදා උදෑසන 10 ට එළිදැක්වීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරනවා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව ඔස්සේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.

SL vs ENG 1st Test: තෙවන දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 204/6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (23) නිමාවට පත් වුණා.

ඒ අනුව තෙවන දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවනවා.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65 ක් ලබාගත් අතර, දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටින කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක්ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 20 ක්ද ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත් අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 358 ක් ලබාගත්තා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ – අනුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන බවයි අද (23) “සඟරුවනේ මහ පෙළහර” මහ සඟ සමුළුවට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවක් නිර්මාණය කළ යුත්තේ අනෙකාට එරෙහිව නොවන බවද, සියලු දෙනා එකතු කරගත් සමඟි සම්පන්න ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

රටටත් ජාතියටත් යළි නිදහස ළඟා කර ගැනීමේ ජාතික සැලැස්මක් ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දමනවා – සජිත්

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු කරන බවයි අද (23) වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ.

එසේම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප දීමනා සහිතව රුපියල් 57,500 දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගෑස් සිලින්ඩරේට ඡන්දේ දුන්නේ නැත්නම් ගෑස් සිලින්ඩර් නැතුව තමයි ඉන්න වෙන්නේ – රනිල්

එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2022 ජූලි මාසයේ දී තමා ආණ්ඩුව භාරගෙන පළමුවරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත්  මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළ බවද සඳහන් කළා.

සජිත් හෝ අනුර බලයට පැමිණිය හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් වෙනස් කරන බවට ප්‍රකාශ කරන බවත් එසේ කළ හොත් ලැබීමට ඇති ආධාර නොලැබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔබේ අනාගය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙසත් එසේ නොවුනහොත් ගෑස් නැතුව සිටීමටද සිදුවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 812 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

66c86815f0383

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා – හරිනි

දේශපාලන හේතු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් පැහැරහැර, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය කඩ කර ඇති බව අධිකරණය විසින් පෙන්නුම් කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් ද අතිශයින්ම පරිස්සම් විය යුතු බවද, ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බවද අධිකරණ තීන්දුවෙන් සනාථ කර තිබෙන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැණි නියෝග පිළිනොපැදිය යුතු බවද, නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබා දී ඇති බවද ඇය අවධාරණය කරනවා.

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.