ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදෙන ලෙස පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය සියලුම සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

යම් සේවායෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත්, රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක කාලයක් සඳහා සිර දඬුවම් හිමිවිය හැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.

රුපියල් කෝටි පහක කේරල ගංජා තොගයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට

රාජාංගනය යාය 14 ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කවර 94ක බහා තිබු කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කලාඔය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කේරල ගංජා තොගය හා සැකකරු රාජාංගනය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස්, අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ආගමන හා විගමන පාලකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විද්‍යුත් වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද (13) කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලකවරයාට අද දිනයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා.

විද්‍යුත් වීසා ක්‍රමය අහෝසි කර පැරණි ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මස 2 වනදා නියෝග කර තිබුණේ.

වාහන ආනයන තහනම 2025 පෙබරවාරි සිට ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

2025 පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

66e40512a6f85

උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරී ඇප මත මුදා හැරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (13) ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා – අනුර

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව ගනු ලබන්නේ රට අලුත්ම මාවතකට හරවන තීන්දුවක් බවත්, ජනතාවගේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳ වැටෙන්නට තමන් ඉඩ නොතබන බවයි කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් එම ඔහු සඳහන් කළේ.

පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවත්, මේ වන විට විකිණෙන සහ විකුණන දේශපාලනය නතර කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

පියවරෙන් පියවර මේ රට ගොඩ නගන්නට ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තමන් සැලසුම් කර ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳනවා – ජනපති

ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳීමට කටයුතු කරන බවත්, තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක ජීවත්විය හැකි බවට වූ විශ්වාසය මෙරට තරුණ පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුත්තේ එම රට නිර්මාණය කිරීම වෙනුවෙන් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, සජිත්ට සහ අනුරට රට ගොඩනඟන සැලසුම් නැති බවත්, ඔවුන්ට රට භාර දුනහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවයි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැළියකට එක්වෙමින් පැවසුවේ.

මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබූ තමා, සියලුදෙනාට ජීවත්විය හැකි රටක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කර දුන් බවත්, තම දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනඟන එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66e26c9e1e019pdf_page_1 66e26c9dd68b6pdf_page_0

ඉදිරි දින තුන ඇතුල​ත ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත් සිදුකළ යුතු දේ පිළිබඳ​ව දැනුම්දීමක්

ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම්, එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව ලබන (14) වැනිදා වන විට යම් කෙනෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම්, හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස්, අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට මේ අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන්වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

ඒ අනුව මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ HQ – 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඉකුත් 5 වන  දින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම, කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරඟයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවරදී පසුගිය 10 වන දින පැවැත්වුණා.

එහිදීත් දෙරට 2-2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඬුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4-2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමඟ මෙම ජයග්‍රහණය හිමි කර ගත්තා.