මාතර කැකණදුරදී වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මාතර කැකණදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

විශ්‍රාමිකයින්ට රජයෙන් ලබාදෙන රු.3000 දීමනාව මේ මස සිටම ලබා දීමට තීරණය කෙරේ

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ මාසයට අදාළ විශ්‍රම වැටුප ගෙවා තිබීම හේතුවෙන් රුපියල් 3000 ක අමතර දීමනාවක් ලෙස මේ මාසය සඳහා ලබාදීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

ලබන මාසයේ සිට රුපියල් 3000 දීමනාව විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රනිල්ගෙන් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමට යෝජනාවක් කැඳවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධි විධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතු බවයි අමාත්‍ය මණ්ඩලය පවසන්නේ.

රජය විසින් මේ වනවිට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබාදී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදාගනු ලබන අතර, එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යන බවයි සඳහන් වෙන්නේ.

එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ‌ලේකම් කාර්යාලය විසින් මේ වනවිට නවතා ඇති අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

670e0d696a8da

ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

මාස 6 ක් සඳහා රු. 300,000 ක උපරිමයකට යටත්ව ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25 ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු. 25 ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම් කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ධීවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබාදීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

670e0f0458302 670e0f0412d0f

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 159,511 ක් පීඩාවට පත්වෙයි

අධික වැසි සමග ඇති වූ ආපදා වලින් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පවුල් 40,758 කට අයත් පුද්ගලයින් 159,511ක් අවතැන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

සුරක්ෂිතතා මධ්‍යස්ථාන 80 ක් මේ වනවිට ක්‍රියාත්මක අතර ඒවායේ පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රඳවා සිටින බවයි සඳහන් වෙන්නේ.

ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ, මේ වනවිට පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජි​මේ ගින්නක්

කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජිමේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කමිඳු 2024 වස​රේදී දෙවන වරටත් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිවී තිබෙනවා.

ඔහු එම සම්මානය මේ වසරේ දිනාගත් දෙවැනි අවස්ථාව මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට ඔහු වාර්තා අතරට එක් වුණා.

අයහපත් කාලගුණයත් සමඟ පාසල්වලට නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාසල්වලට නිවාඩු ලබාදීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනයක් මහාධිකරණ​ය ප්‍රතික්ෂේප කරයි

තමන්ට නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් තමන්ට නියම කළ නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔවුන් සිය අභියාචනය මඟින් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම අභියාචනය කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.