බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් ලබාදීමට බිත්තර නිෂ්පාදකයින් එකඟවෙයි

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකඟතාවය දැක්වූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ගුවන්යානයක බෝම්බ බියක් නිසා විශේෂ පරික්ෂාවකට ලක් කරයි

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

අපේක්ෂකයින් තිදෙනෙක් හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට සඳහන් ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනු කරන ලෙසත්, ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

ආරක්ෂාව ගැන ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩ ඉවත් කර ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපති කාර්යාල මේ වන විටත් සෑහීමකට පත්ව ඇති බවත් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ තත්ත්වය පාවිච්චි කර අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාජ ඇටෝනි බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමට නොවැම්බර් 25 දක්වා කල් ලබාදෙයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21 ක සමාගම් කොටස් සාපරාධී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න අසනීප තත්ත්වයෙන් රෝගල්ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වන දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.

ආරක්ෂාව අවශ්‍ය ඊශ්‍රායල ජාතිකයින්ට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම්, අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා 0718592651 දුරකථන අංකය ඔස්සේ සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාව අමතන ලෙසයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

පැය දෙකහමාරකට පසුව නාමල් CIDයෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පහත් බිම්වල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6719cd95018a7pdf_page_0

වැඩේ කරලම අපි පෙන්නන්නම් ජනපති අනුර ත්‍රිකුණාමලයේදී කියපු දේ…..

https://www.youtube.com/embed/mPwajnh4HnM?si=M9Nyq8lu00t6wrVc” title=