රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු විවෘත කර ඇති බවයි ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර සඳහන් කළේ.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි සඳහන් වෙන්නේ.

SL vs NZ 3rd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 140 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසාන එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 46 ක් හා ජනිත් ලියනගේ ලකුණු 53 ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී Matt Henry කඩුලු 4 ක් දවා ගත් අතර, Mitchell Santner කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 30 ක් ඇතුළත සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150 ක් පමණයි.

එහිදී නවසීලන්තය වෙනුවෙන් Mark Chapman ලකුණු 81 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා එෂාන් මාලිංග කඩුලු 03 බැගින් දවා ගනු ලැබුවා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

විපක්ෂය විදියට අපි කෝප් කමිටුව වර්ජනය කරනවා – අජිත් පී. පෙරේරා

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි ඔහු පවසා සිටියේ.

කෝප් කමිටු සභාපතිවරයා ඒකමතිකව පත් කරගත් බවට ප්‍රකාශ වුවද, එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේ.

ඒ අනුව, පවතින තත්ත්වය තුළ සෙසු පාර්ලිමේන්තු කමිටු සඳහා ද සහභාගී නොවීමට විපක්ෂය අදහස් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

බහාලුම් නිෂ්කා​ශන ගැටළුව පිළිබඳව හෙට ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනවා – බිමල් රත්නායක

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී දැනට ඇතිවී තිබෙන ප්‍රමාදකාරී තත්ත්වය නිරාකරණය කිරීම සඳහා නිත්‍යානුකුල ආකාරයෙන් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව මේ ගැටළුව පිළිබඳව හෙට දිනයේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය නිසා බහාලුම් ප්‍රවාහන රථ 800-1000 අතර ප්‍රමාණයක් වරාය තුළ පවතින බවට පසුගියදා වාර්තා වුණා.

කවුඩුල්ල වැවේ වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අද (11) උදෑසන යලි විවෘත කිරීමට කවුඩුල්ල වාරිමාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ(10) රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගල් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, ඒ් හේතුවෙන් ගල් ඔයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ගල් ඔයේ වාන් ජලය කඩුඩුල්ල වැවට ගලා ඒමත් සමග කවුඩුල්ල වැවේ ජල ධාරිතාවද එහි වාන් මට්ටමට ආසන්න වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අඩි 01 බැගින් විවෘත කිරීමට කවුඩුල්ල වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙන අතර, එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 1000ක ජල ධාරිතාවක් කහඹිලියා ඔයට මුදා හැරෙන බවද සඳහන්.

මේ හේතුවෙන් කහඹිලියා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව ජලය පරිහරණයේදී වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසට කවුඩුල්ල වාරිමාර්ග නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දීය ආරක්‍ෂක උපදේශක සහ මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි යන නිලධාරින් ඊයේ (10) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර සමග කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවුනා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වූ බවයි සඳහන් වන්නේ.

මෙම සුහද හමුව අතරතුර, ජනවාරි 26 වන දිනට නියමිත ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙසත් කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කර තිබෙන බවද සඳහන්.

දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය ගැනත්, මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳවත් ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර හා ලේඛ​න සැකසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කූට ලෙස රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී, මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරු‌වේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගත් අතර, වයස අවුරුදු 48 ක් වන සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19 ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර, රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් සකස් කර දීම සම්බන්ධයෙන් ද තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

ඒ අනුව, මෙම ජාවාරමට සම්බන්ධ වේරහැර මෝටර් රථ රියදුරු බලපත්‍ර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වා ගෙන යන අයෙකු හා නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද අයෙකුද එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 39 හා 60 යන වයස්වල පසුවන බොරලැස්ගමුව හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර කාඩ් 03ක්, ජංගම දුරකතන 06ක්, පරිඝණක යන්ත්‍රයක් හා ඒ සඳහා යොදාගත් තවත් ලේඛන කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මනම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසන්නේ.

ඒ් අනුව සීගිරිය රාත්‍රි කාලයේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

“මේක භාවනාවක් වගේ වැඩක්” විදේශිකයා අපේ රටේ අයට උගන්නපු අමතක නොවෙන පාඩම…….

https://www.youtube.com/embed/r4mRvOQ_CYc?si=DObU2Q5GCdtmAW4b” title=