දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව විවෘත කරයි..

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින විවෘත කරන ලදි.

වර්ග අඩි 14,000 ක වපසරියකින් යුත් මෙම ලංකා සතොස නව මෙගා ශාඛාව තුළ ආපන ශාලාව, බේකරි නිෂ්පාදන අලෙවි සැල, ධාන්‍ය අලෙවිසැල, කරවල අලෙවිසැල, මාංශ අලෙවිසැල, නැවුම් පළතුරු යුෂ අලෙවිසැල, නැවුම් එළවළු සහ පළතුරු අලෙවිසැල, අක්ෂි දෘෂ්ටි විශේෂඥ ස්ථානය (ඇස් පරීක්ෂා කිරීමේ ස්ථානය), ඔසු සැල, බැංකු ශාඛා, ඇඳුම් විලාසිතාගාරය සහ තවත් වෙළෙඳ සැල් ගණනාවකින් ද සමන්විත වේ.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවීන් වෙනුවෙන් ද මෙහි අලෙවි සැල් නිර්මාණය වී ඇති අතර රජයේ මූලික අරමුණක් වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ තුළ සුලභ කිරීම සහ අවම මිලක් යටතේ එම භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් නවීන වෙළෙඳ පොළ තත්වයන් අනුව පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු පාරිභෝගික ද්‍රව්‍ය එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවන පරිදි මෙම ලංකා සතොස exclusive ශාඛාව ඉදි කර තිබේ.

එමෙන්ම මෙම ලංකා සතොස exclusive බදුල්ල මෙගා ශාඛාව විවෘත කිරීමට සමගාමීව, බදුල්ල ප්‍රදේශයේ බෝගහකුඹුර ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල විවෘත කිරීමේ කටයුත්ත ද සිදු විය. ඒ අනුව බෝගහකුඹුර ප්‍රදේශයේ ජනතාවට ද සුපිරි වෙළෙඳ සැලක අවශ්‍යතාවය ලංකා සතොස ආයතනය විසින් ඉටු කර දී ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සංචාරක නියොජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් ද, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුලු බදුල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩන්ස්ටන් මාලගේ මහතා ඇතුලු ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ජාතික සතොස සභාපති කෝසල විල්බාව මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු විය.

 

ඒක අත්වැරදීමක් – ඇමති හඳුන්නෙත්ති….

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදි නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවය.

කෙසේ නමුත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේදි තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්,

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වෙමි.”

රේගුව රඳවාගත් වාහන ගැන අධිකරණයෙන් නියමයක්…

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයාබලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා රේගුවට නියම කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15ක් පමණ අද සලකාබැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පොදුවේ අධිකරණය හමුවේ අවධාරණය කළේ, තම සේවාදායකයින් විසින් ආනයනය කළ මෙම වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

මෙම වාහන සියයට 35ක අධිභාරයකට යටත්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පෙත්සම්කරුවන් සියලුදෙනා තරයේ විරුද්ධ වන බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙම වාහන ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ රේගුව විසින් අනුමත රෙගුලාසි හා ගැසට් නිවේදනවලට අනුකූලව බවත් ඒවා රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙහිදී පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන දිගින් දිගටම රේගුව විසින් රඳවා ගැනීම නිසා තම සේවාදායකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි සඳහන් කළේය.

මෙම වාහන අනාරක්ෂිත ආකාරයෙන් රේගුව තුළ රඳවා තිබෙන බවත් මේ හේතුවෙන් ඒවාට අව් රශ්මියෙන් මෙන්ම වෙනත් බාහිර සාධකවලින් හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වාදුනි.

මෙසේ සිදුවන හානිවලට රක්ෂණ වන්දි අය කරගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම වාහන පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරු මඩුල්ල, ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට පෙන්වා දුන්නේ මෙම වාහන මුදාහැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සියයට 35ක අධිභාරය පැනවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමථයක් ඇති කරගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසය.

ඒ අනුව මෙම නඩුකරවල පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් සංවිධානය කර මෙම ගැටළුව සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුනි.

එමෙන්ම මේ වනවිට රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් විමසා ඒ පිළිබඳව ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සියල්ල සලකාබැලීම සඳහා ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය දින නියම කළේය.

රෝහිතගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ රාජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි….

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේට ඇප….

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව බන්ධනාගාරගත කර තිබුණි.

ශ්‍රමදානයක් අතරතුර රෝගී වූ දරුවන් 40ක් රෝහලට…..

මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයෙන් සරසවි කටයුතු අඩාළයි…..

තම ගැටලුවලට රජයෙන් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) සියලු විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක නිරත වේ.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවය.

එක්දින වැඩවර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක දේශන පැවැත්වීම ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අඩාල වී තිබේ.

මේ අතර, තම ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි ඉල්ලා ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණි.

ජනපති අනුර ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි….

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ  ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙ‍ෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙ‍ෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පෙන්වා දී ඇත.

දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදී.

එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානම අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත්විණි.

මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්…..

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරවරයාට නියම කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්  පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේදී…..

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය  සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන් සංවිධානය කළ නියාමන බලපෑම් ඇගයීම සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (29) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2025 වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඹෟෂධ, ආහාර ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක යාන්ත්‍රණයක් නිර්මාණය මින් ආපේක්ෂා කරනු ඇත.

ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා ඇති අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු ආයතන ලෙස නම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම රජයේ ඉලක්කය වන බවත් එම කාර්යයේදී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන බවය.

ඒ සඳහා වර්තමානයේ භාවිත කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇති බවත් ඒ හරහා වගකිව යුතු ආයතනවල පරීක්ෂණාගාර උපකරණ ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.