ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන 28 මේ දින වල ශ්‍රී ලංකාව පුරා සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.එහි සුද්දීගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙනවා.
කාලයකට පස්සේ සේමිනී කරළියට ඇවිල්ලා තියෙනවා ?
ඔව් සනත් ගුණතිලක මහතාගේ සිනහව අතරින් ෆිල්ම් එකෙන් පස්සේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ 28 ෆිල්ම් එක හරහා නැවත පැමිණෙනවා.මා රංගනයෙන් දායක වූ වෙනස් සිනමා නිර්මාණයක් හැටියට 28 සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
ඔබ ඔය පවසන වෙනස ඔබට අභියෝගයක් වුණා ද ?
ඔව් ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා.මොකද 28 චිත්‍රපටයේ සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි.ගොඩක් අමාරු වුණා.මොකද සියලුම කාන්තාවන් නියෝජනය කරන චරිතයක් තමයි සුද්දි කියන්නේ.ඒ නිසා සුද්දිව ප්‍රතිනිර්මාණය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් වුණේ නෑ.
සමස්ත කාන්තා පරපුර නියෝජනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක් ද ?
ආසියාතික රටවල කාන්තාවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලිංගික සූරාකෑම.විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගිකත්වය කියන්නේ හරිම රහක් තියෙන දෙයක්.පාසල් අධ්‍යාපනයේදීවත් හරියට මේක විවර වෙන්නේ නෑ.ඒ නිසා මේක අමුත්තක් වෙලා තියෙන්නේ.කැත දෙයක්,කුණුහරුපයක්,හොරයක්,වංචාවක් වෙලා තියනවා ලංකාවේ සමාජය ඇතුළේ ලිංගිකත්වය කියන එක.ඉතින් ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ට තියෙන තාඩන පීඩන තමයි සුද්දි කතා කරන්නේ.ඉතින් කතාව එක්තරා මට්ටමක සමස්තයම නියෝජනය කිරීමක් කියලා කියන්න පුළුවන්
ඔබ ඔය කියන ලිංගික සූරාකෑමට වඩා ලාංකික ගැහැණියට ලැබෙන අපවාද ඊට වඩා ප්‍රබලයි කියලා මම කීවොත් ඔබ ඊට එකඟ වෙනවද ?
ඔව් ඔබ කියන කියන දේ හරි.මොකද දැන් තියන තාක්ෂණයත් එක්ක ලිංගික සූරාකෑමට වඩා කාන්තාව දූෂණය වෙනවා දැන් තියෙන තාක්ෂණයෙන්.ඉතින් ඔබ කියන කතාවත් එක්ක මට එකඟවෙන්න පුළුවන්
පුරුෂයාගේ ලිංගික ආධිපත්‍ය තහවුරු කිරීමට කාන්තාව වක්‍රව උදව් කරනවා වෙන්න බැරිද ?
ඔව් කාන්තාවත් මේකට වක්‍රාකාරව උදව් කරනවා.නිහඬ වීම සහ මුණිවත රැකීම ස්ත්‍රියක් ස්ත්‍රියක් වීම නිසා රැකිය යුතු කරුණක් කියලා කාන්තාව සිතනවා.මෙය දැනුවත්ව හෝ අවිඥානිකව සිදුවෙන්නත් පුළුවන්.මේ අවිඥානිකත්වය තමන් තමන්වම ප්‍රපාතයට ඇද දමා ගැනීම දක්වා දිවෙන්න පුළුවන්.
විසි අට හරහා කියවෙන්නේ කාන්තාවට සිදුවන සමාජ අසාධාරණය ගැන විතරක් ද ?
නැහැ.සුද්දි පුරුෂයාට වුණ සමාජ අසාධාරණය පිළිබඳවත් කතා කරනවා.අපේ මේ සංස්කෘතිය ඇතුලෙදි පුරුෂයාටත් හැඟීම් හිරකරගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා.සමහරවිට ඒ හේතුවම වෙන්නත් පුළුවන් පුරුෂයා නොමග යන්න කියලත් අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්.මම හිතන්නේ අබසිරි හරහා කියන්න උත්සහ කරන්නේ සමාජ අසාධාරණය ඉදිරියේ අසරණ වුණ පිරිමියා ගැන.
ෆිල්ම් එකේ සමස්තය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා වෙනවා.පීඩනයට පත් වූ කාන්තාව පිළිබඳ විශාල වශයෙන් කතා වෙනවා.ඒත් චිත්‍රපටය ප්‍රචාරණයේදී,එහෙමත් නැත්නම් අලෙවිකරණ කාරණයේදී සරාගී සේමිනී ඉද්දමල්ගොඩගේ ඡායාරූප සිනමාශාලාව ඉදිරිපිට දර්ශනය වෙනවා ,මේ ගැන ඔබේ අදහස මොකක් ද?
ඔබේ ඔය කතාවට මම එකඟ වෙන්නේ නෑ.මොකද ඔබ ඔය කියන ආකාරයේ සරාගී දෙයක් එතන නෑ.හොඳ දෙයක් ඔයා ඇහුවේ,ගැහැණියෙක් සරමක් ඇඳගෙන නානවා කියන එක,දිය රෙද්දක් ඇඳගෙන නානවා කියන එක සරාගී දෙයක් නෙවෙයි නේ.ඒක සරාගී ඇහෙන් බලන්නත් පුළුවන් ඕනනම් මිනිස්සුන්ට.බලලා ඒකට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.ඔබ ඔය කියන කාරණයට මම එකඟ නොවෙන්නේ බොරැල්ල හංදියේ තියෙන කටවුට් එක දැක්කොත් ඔය කියන කාරණය නිශේධනය වෙනවා.
ඔබ මෙතෙක් රඟපෑ චරිතයන් තුළින් තවමත් සේමිනීගේ උපරිමය එළියට ආවේ නෑ කියලා මම කීවොත් ?
අපේ පරම්පරාවෙදි ඇත්තටම අපිට ලොකු අසාධාරණයක් වුණා.මොකද හොඳ නිර්මාණ අපේ කාලයේ සෑහෙන්න අඩුවෙන් බිහිවුණේ.මට වගේම ඒ අසාධාරණයට කාංචනා මෙන්ඩිස් ,දමිතා අබේරත්න ට වගේ අවස්ථාවන් විරල වුණා කීවොත් හරි.ඒක අපේ පරම්පරාවට මොකක් හෝ අවාසනාවක් නිසා සිදුවුණ දෙයක් වෙන්න ඇති.නමුත් ලැබුණු හැම නිර්මාණයකින්ම මම පෞද්ගලිකවම මට පුළුවන් උපරිම දේ කළා කියන තැන මම ඉන්නවා.
ඒ කියන්නේ නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබ ඕනෑම අභියෝගයක් බාර ගනීවි ද ?
ඕනෑම අභියෝගයක් කියන තැන මම නෑ.මොකද මම අම්මා කෙනෙක්,මට දරුවෙක් ඉන්නවා.ඒ වගේම මට සමාජ පසුබිමක් තියනවා.එහිදී යම් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක් රඟපාන්න තිබුණොත් මම එය බාර නොගනී,කවදාවත්ම මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.හැබැයි මගේ සීමාවන් තියෙනවා.මම විසින් හදාගත්ත.ඒ සීමාවන් ඇතුලේ මට කරන්න පුලුවන් උපරිම දේ මම නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් කරයි.
සංඛ රඹුක්වැල්ල