සාකච්ඡා කලේ- පාලිත අබේලාල්
ඔහු විටෙක මාධ්‍ය සහෘදයෙකි. තවත් විටෙක පුංචි තිරයේ තිරෙන් පිටු පස වැඩකරුවෙකි. එතකොට වේදිකාව? ඉතිං ඒ නම් ඔහුගේ හද ගැහෙන රාවයයි. මේ අටුවා ටීකා වලින් සැරසුවේ කපිල කුමාර කාලිංගයන් රසික ඔබට අමුත්තෙකු නොවන බව නොදන්නා නිසා නොවේ….ඔහු කලාවේ වෙසෙස් කොන්වල හසල නිර්මාණකරුවෙකු නිසාය..
මෙවර ඔහු වේදිකාව සරසන්නේ සුභ නැකතින් ”බැංකුවීරයා” කැන්දන් එමිනි. එහි මංගල දර්ශණය මේ මස 19 වන දින සවස 6.30ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී රංගගත කිරීමට ලහි ලහියේ සූදානම් වන මොහොතක බොස්ටන් ලංකා සමග එක් වෙමින් ඔහු සිය නිර්මාණ දිවියේ අලුත්ම තොරතුරු දිගහැරියේ මෙලෙසිනි.
කවුද මේ බැංකු වීරයා?
අපි මෙහෙම කිව්වොත්, වීරයෝ එක රාත්‍රියකදී ද්‍රෝහීන් බවට පත්වෙනවා. වීරයෝ චෞරයෝ බවටත් පත්වෙනවා. චෞරයෝ වීරයෝ බවටත් එක වෙලාවක පත්වෙනවා. මේක රොබින්හුඩ්, සරදියල් වගේ පහළ සමාජ ශ්‍රේණි වල අයට වගේම රාජ්‍ය නායකයන්ට පවා ඇතිවිය හැකි පොදු තත්ත්වයක්. එක කාලෙක රාජ්‍යයට දුෂ්ඨයෙක් වෙන මැන්ඩෙලා පසුව ලොක් ප්‍රජාවගේම වීරයෙක් බවට පත්වෙනවා. මම මේ නාට්‍යයේදී චෟරයෙකුට පවා වීරත්වය පුදකිරීමට සූදානම්වන අවස්ථාවන් තිබිය හැකිය කියන කාරනාව තේමා කරගන්නවා. ඇත්තටම චෟරත්වය සහ වීරත්වය යනු එකම කාසියක දෙපැත්ත.
එතකොට මේ නාට්‍යයේ සිදුවීම් මාලාව ගොඩනැගෙන්නේ බැංකු කොල්ලකෑමක් කේන්ද්‍රකරගනිමින්?
ඔව්, අපිට පසුගිය කාලේ එක එක තාලෙ බැංකු කොල්ලකෑම් අහන්නට දිකින්නට ලැබුන. මේ නිසා බැංකුවල මුදල් සම්බන්ධයෙන් ජනතාව තුල අනාරක්ෂිත හැගීමක් ඇතිවුනා. ජනතාව තුල බයක් ඇතිවෙන විට කොල්ලකරුවන්ගේ ඇතිවුණේ නිර්භීත කමක්. මේ කොල්ලකෑම් වලට සම්බන්ධවුනේ බහුතරයක් තරුණයන්. ඇත්තටම මේ තරුණයන්ගේ ජීවිත වලටත් බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට ඒ අයට මුදල් අවශ්‍යයි. මේ සිදුවීම් වල විශාල ඛේදවාචකයක් වගේම උත්ප්‍රාසයකුත් තියෙනවා. මගේ මුදල් අවශ්‍යතාවයකට විසදුමක් හොයන්නේ බැංකුවක් කඩල නම් මම බැංකුව සමග ගණුදෙනු කරන්නේ බැංකු කොල්ලකෑම තුලින්. මගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන කලන්සූරිය තරුණයෙක්. ඔහු නිතරම කියන කතාවක් තමයි “මම වුවමානවකට මුදල් අරන් යන්න ආවේ. කරුණාකරල මට ගණුදෙනු කාරයෙක් විදියට සළකන්න. මම හොරෙක් නෙවේ” කියල. මේ ගණුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි හැම කෙනෙකුටම ඇතිවෙලා නැද්ද? මේ කොල්ලකාරයා අපි හැමෝම තුල නැද්ද?
ඇතැම් විට සංස්කෘතියෙන් හෝ නොහැකියාවෙන් වසාගෙන හෝ මර්ධණය කර සිටින මේ කොල්ලකාරයා සාධාරණය කිරීමද ඔබේ මේ උත්සාහය?
ඇත්තටම නැහැ, මේ නාට්‍යට අනුව ඔහු කොල්ලකෑම සිදුකරන්නේ නෑ. ඔහු මේ බැංකුවේ සේවයකරන අය සමග සාකච්ඡාවක යෙදෙනවා. එයින් ඒ ඒ අය අතර අන්තර් සබදතාවයක් ගොඩනැගෙනවා. ඒ සබදතා තුල සමජය ධූරාවලියේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයත් මෙවැනි දැවෙන ප්‍රශ්ණවලින් පෙළන බව නිරාවරණය වෙනවා. ඔවුන් සියළුදෙනාම අසම්පූර්ණ ජීවිත ගතකරන අය. ඇත්තටම මේ අර්ථක්‍රමය තුල අපිට පරිපූර්ණ ජීවිතයක් හිමිවෙනවාද? යම්කිසි භෞතික භාණ්ඩයක් හෝ කීපයක් හිමිකරගෙන තමන් පරිපූර්ණ ජීවිතයක් අත්පත් කරගත්තා කියල අපි හිතුවත් ඇත්තටම අපිට සම්පූර්ණ ජීවිතයම අත්පත්කරගැනීමට හැකිවෙලා තියෙනවාද? මේ රික්තකය අවබෝධ කරගැනීමට නොහැකි තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. අපි හිතනවා මේ හිඩස මුදල් වලින් පුරවාගැනීමට හැකියි කියල. නමුත් ඇත්තටම ඒ හිඩස මුදල් වලට පිරවීමට හැකිද?
දීගු නිහැඩියාවකින් පසු නාට්‍ය නිර්මාණය කිරීමට යොමුවුනේ ඇයි?
ඇත්තටම මම පසුගිය කාල වකවානුවේදී නාට්‍ය නිර්මාණ කරණයෙන් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණියත් මම නාට්‍ය කලාව සමග සමීපව තමයි ගැවසුනේ. විශේෂයෙන්ම මම මේ වෙනකොට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගලා පිළිබද ප්‍රායෝගික බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයකරනවා. මේ අත්දැකීම් ගොන්නත් සමග මම ලෝක නාට්‍ය දින දෙකකදී තරුණ නාට්‍ය කණ්ඩායම් දෙකක් සමග පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ දෙකක් කලා. එකක් අපි රංගගතකළේ පිහිණුම් තටාකයක. මේක අපි Pool Theatre කියල හැදින්නුවේ. අනෙක් නාට්‍ය ” මාතෘකාවක් නොමැත” කියන නාට්‍ය. මේ නාට්‍යයේ විශේෂත්වය නාට්‍ය සිදුවන්නේ වේදිකාවේ නොවේ,ප්‍රේක්ෂාගාරයෙයි.
සාකච්ඡා කලේ- පාලිත අබේලාල් (palithaabelal@gmail.com)