අගෝස්තුවේ සංචාරකයින් 198,235ක් මෙරටට ඇවිත්….

අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර එය 23.4% කි.

තවද, එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523කි.

ඒ අතරින් සංචාරකයින් 325,595ක් ඉන්දියාවෙන්, 118,916ක් රුසියාවෙන් සහ 151,141ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය 31 වැනිදා…..

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභා‍පතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවය.

එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3ක පමණ කාලයක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5,000ත් 7,000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එබැවින් ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද පැවසීය.

එමෙන්ම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද ඔහු සඳහන් කළේය.

ත්‍රීරෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දුරගමන් සේවා සහ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගාල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය.

එසේම දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

විදෙස් සංචාරකයින් 1,338ක් ගුවන්තොටේ දී රියදුරු බලපත්‍ර අරන්…..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි.

මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය.

පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරන බව ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි නියෝජිත අමිල කෝරලගේ මහතා පැවසුවේ, මේ හේතුවෙන් එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී…..

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,500,656ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 132,368 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රුසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට නිවේදනයක්…..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවා ඇත.

පසුගිය දිනවල ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම හේතුවෙන් අපහසුතා ඇති වූ බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීමට, මෙම තීරණය ගෙන ඇත.

බස්වලටත් ලගදීම එන AI

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය.

“AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AIවලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම”

දෙස් විදෙස් සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව…

ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම සැබෑ ලෙස විඳගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුනත් තවමත් එහි වැඩ අවසන්ව නොමැත.

ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි.

විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.

ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.

නමුත් ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බව දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානය පැමිණෙන බව වාර්තා වේ.

ADA DERANA

ඇල්ලේ සිරි නරඹන්න නව දුම්රියක්…..

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය.

ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17 වැනිදා සිට සෑම ඉදිරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එහි අගය 286,085කි.

එමෙන්ම මෙම වසරේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියාවෙන් 116,257 ක්ද මෙරට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අගොස්තු 01 වැනි දින සිට 05 වැනි දින දක්වා  සංචාරකයින් 40,047 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එහි අගය  6,963ක් වේ.

එමෙන්ම එක්සත් ජනපදයෙන් 4,345ක් සහ චීනයෙන් 3,090ක් ද ප්‍රංශයෙන් 3,049 සහ ඉතාලියෙන් 2,739ක්ද පැමිණ තිබේ.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්….

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?