ජයග්‍රහණය කළ ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි….

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි.

“පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

කුසලානය ලබා දීමේ අවස්තාවේදී “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පැවසීය.

උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවය.

කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.

ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට වැඩ වරදියි….

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර ඇති බව සඳහන්.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවයි.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවය.

පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කරනු ලැබීය.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම දඬුවමට එරෙහිව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවද සඳහන්.

පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරාගා බැගීමේ සිට තරගය අවසන්වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

වෙල්ලාලගේ හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි…..

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් යළි එක්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු අද (19) රාත්‍රියේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවය.

සිය පියාගේ අභාවය සැලවූ වහාම දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ආසියනු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

රටවල් 3ක් බලාසිටින ආසියානු කුසලානයේ හෙට දවස

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට (18) අබුඩාබි හිදී පැවැත්වේ.

මෙය ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයකි.

ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින බැවින්, ඔවුන් දැනටමත් සුපිරි 4 වටය පෙනෙන මානයටම පැමිණ සිටියි.

ඒ අනුව හෙට තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාවට හැකිවේ.

ඒ හැරෙන්න ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබීම ද ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව ඇත.

‘B’ කාණ්ඩයෙන් තරග කළ හොංකොං කණ්ඩායම ක්‍රීඩාකළ තරග 3ම පරාජය වූ බැවින් ඔවුන් දැනටමත් තරගාවලියෙන් ඉවතට වී ඇත.

ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගාවලියේ රැඳි සිටිය හැකි ආකාරය

ඇෆ්ගනිස්තනය පළමුවට පන්දුවට පහර දී ලබාදෙන ඉලක්කය ශ්‍රී ලංකාව හඹායාමට නොහැකි වුවත්, එම පරාජය ලකුණු 71කට නොවැඩි විය යුතුය.

නැතහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 11.1කට අඩුවෙන් (පන්දු 53ක් ඉතිරිව තිබියදී) හඹායාමට අවස්ථාවක් ලබානොදිය යුතුය.

ඇෆ්ගනිස්තායට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ශුද්ධ ලකුණු අනුපාතය අනුව බංග්ලාදේශය අභිබවා පැමිණිය යුතුය.

කෙසේ නමුත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගනු ඇත.

බංග්ලාදේශයට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

බංග්ලාදේශ කණ්ඩායමේ ඉරණම තීරණය වී ඇත්තේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තරගයේ ප්‍රතිඵලය මතය.

ඔවුන් මේ වනවිට ලකුණු 4ක් හිමිකරගෙන සිටින බැවින් හෙට තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ඔවුන් අභියෝගයක් නැතිවම සුපිරි 4ට සුදුසුකම් ලබයි.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද…..

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ.

‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී  විස්සයි20 තරගයකදී මුණගැසෙන තෙවන අවස්ථාව මෙයයි.

පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව ඔවුනොවුන් අබුඩාබි හිදී විස්සයි20 ක්‍රිකට් තරගයකදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩාකළ පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔවුන් ‘B’ කණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින්ද, බංග්ලාදේශ නායකත්වය ලින්ටන් දාස් විසින් ද දරන ලබයි.

ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් මහානාම ඉල්ලා අස්වෙයි……

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.

නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ….

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ

වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ…..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

දෙරට අතර තරග 3 බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 29වනදා ආරම්භ වේ.

ඉතිරි තරග 31වනදා හා සැප්තැම්බර් 3 යන දිනවල පැවැත්වෙන අතර, සියලුම තරග හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

1) චරිත් අසලංක (නායක), 2) පැතුම් නිස්සංක, 3) නිශාන් මධුෂ්ක, 4) කුසල් මෙන්ඩිස්, 5) සධීර සමරවික්‍රම, 6) නුවනිදු ප්‍රනාන්දු, 7) කමිඳු මෙන්ඩිස්, 8) ජනිත් ලියනගේ, 9) පවන් රත්නායක, 10) දුනිත් වෙල්ලාලගේ, 11) මිලාන් රත්නායක, 12) මහීෂ් තීක්ෂණ, 13) ජෙෆ්රි වැන්ඩර්සේ, 14) අසිත ප්‍රනාන්දු, 15) දුෂ්මන්ත චමීර, 16) ඩිල්ෂාන් මධුශංක

ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ නීතිරීතිවලට ශ්‍රී ලංකාව අනුකූල නෑ – WADA….

ජාත්‍යන්තර උත්තේජන මර්දන නියෝජිතායතනයේ (WADA) මෙහෙයවීමෙන් පැවැත්වෙන කිසිදු වැඩසටහනකට සත්කාරකත්වය ලබාදීම හෝ එහි නිළතල දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්දන නියෝජිතායතනයට (SLADA) තහනම් කර තිබේ.

අද (20) බලපැවැත්වෙන පරිදි මෙම තීරණය බලපැවැත්වේ.

නිවේදනයක් නිකුත්රමින් WADA සඳහන්කර ඇත්තේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූලව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ වැඩකටයුතු සිදු නොවන බවය.

ලෝක උත්තේජක මර්දන ඒජන්සියේ ස්වාධීන අනුගතවීම් ඇගයීමේ කමිටුවේ නිර්දේශ මත පරීක්ෂාවෙන් පසුවිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව මෙම වසරේ ඉකුත් මාර්තු මාසයේ දී ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත් නිරීක්ෂණ කාලය අවසන් වූ පසුගිය ජුනි 29 වනදා වනවිටත් ශ්‍රී ලංකාව ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට අපොහොසත්වී ඇති බව  WADA සිය නිවේදනයේ සඳහන්කර ඇත.

ඒ හේතුවෙන් මෙරට උත්තේජක මර්දන නියෝජ්‍යාතනය, ලෝක උත්තේජක මර්දන ඒජන්සියට අනුකූල නොවන ආයතනයක් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් මත ශ්‍රී ලංකාවට ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය මගින් සංවිධාන කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට අවසර හිමි නොවන අතර, අරමුදල් ලබාදීම ද තාවකාලිකව නතරවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ඔවුන්ට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සිංහ ධජය යටතේ යටතේ තරගකිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාවට ද මෙම තහනම පනවා තිබේ.