චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග….

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

ඊයේ  (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්ය.

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාට පදක්කම් රැසක් – චමෝද්ට රන් පදක්කමක්…

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වූහ.

චමෝද් යෝධසිංහට රන් පදක්කමක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණි.

ඒ මිනිත්තු 10.30කින් තරගය අවසන් කරමිනි.

චතුර දුලාංජනගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ චතුර දුලාංජන විසින් මීටර් 62.51 ක දුරක් වාර්තා කරමිනි.

ශානුක කොස්තාගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවති 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වෙන් තත්පර 47.72 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්….

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්ය.

යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට….

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

ජයග්‍රහණය කළ ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි….

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි.

“පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

කුසලානය ලබා දීමේ අවස්තාවේදී “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පැවසීය.

උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවය.

කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.

ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට වැඩ වරදියි….

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර ඇති බව සඳහන්.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවයි.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවය.

පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කරනු ලැබීය.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම දඬුවමට එරෙහිව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවද සඳහන්.

පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරාගා බැගීමේ සිට තරගය අවසන්වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

වෙල්ලාලගේ හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි…..

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් යළි එක්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු අද (19) රාත්‍රියේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවය.

සිය පියාගේ අභාවය සැලවූ වහාම දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ආසියනු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

රටවල් 3ක් බලාසිටින ආසියානු කුසලානයේ හෙට දවස

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට (18) අබුඩාබි හිදී පැවැත්වේ.

මෙය ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයකි.

ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින බැවින්, ඔවුන් දැනටමත් සුපිරි 4 වටය පෙනෙන මානයටම පැමිණ සිටියි.

ඒ අනුව හෙට තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාවට හැකිවේ.

ඒ හැරෙන්න ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබීම ද ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව ඇත.

‘B’ කාණ්ඩයෙන් තරග කළ හොංකොං කණ්ඩායම ක්‍රීඩාකළ තරග 3ම පරාජය වූ බැවින් ඔවුන් දැනටමත් තරගාවලියෙන් ඉවතට වී ඇත.

ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගාවලියේ රැඳි සිටිය හැකි ආකාරය

ඇෆ්ගනිස්තනය පළමුවට පන්දුවට පහර දී ලබාදෙන ඉලක්කය ශ්‍රී ලංකාව හඹායාමට නොහැකි වුවත්, එම පරාජය ලකුණු 71කට නොවැඩි විය යුතුය.

නැතහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 11.1කට අඩුවෙන් (පන්දු 53ක් ඉතිරිව තිබියදී) හඹායාමට අවස්ථාවක් ලබානොදිය යුතුය.

ඇෆ්ගනිස්තායට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ශුද්ධ ලකුණු අනුපාතය අනුව බංග්ලාදේශය අභිබවා පැමිණිය යුතුය.

කෙසේ නමුත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගනු ඇත.

බංග්ලාදේශයට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

බංග්ලාදේශ කණ්ඩායමේ ඉරණම තීරණය වී ඇත්තේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තරගයේ ප්‍රතිඵලය මතය.

ඔවුන් මේ වනවිට ලකුණු 4ක් හිමිකරගෙන සිටින බැවින් හෙට තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ඔවුන් අභියෝගයක් නැතිවම සුපිරි 4ට සුදුසුකම් ලබයි.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද…..

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ.

‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී  විස්සයි20 තරගයකදී මුණගැසෙන තෙවන අවස්ථාව මෙයයි.

පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව ඔවුනොවුන් අබුඩාබි හිදී විස්සයි20 ක්‍රිකට් තරගයකදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩාකළ පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔවුන් ‘B’ කණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින්ද, බංග්ලාදේශ නායකත්වය ලින්ටන් දාස් විසින් ද දරන ලබයි.