මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි….

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39 ක අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම අවස්ථාවේදී මීට පෙර අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාළව සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අය වෙනුවෙන් පෙනී සිටි සංජේ රාජරත්නම් සහ නලින් ලද්දුව හෙට්ටි යන ජනාධිපති නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ල විසින් ලබාදන බව කී ලේඛන මෙතෙක් ලබාදී නොමැති බවය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන අධිකරණ කාර්යාලයට භාරදී ඇති බවත් ඒවා ඔවුන්ට එම කාර්යාලයෙන් ලබාගත හැකි බවත් සඳහන් කළේය.

එම ලේඛනවල පිටපතක්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විසින් අධිකරණයටද බාර දුන්නේය.

එහිදී විත්තිය නීතිඥවරු අධිකරණය නොමග හැරීමට කටයුතු කරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම මගින් මීට පෙර පැවරූ නඩුවකට වරදකරු කෙරෙනු සේවාදායකයාට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙන බවත් එසේ වරදකරු කෙරුණු චෝදනා සහ මෙම නඩුවේ චෝදනා එක හා සමාන බවත් පෙන්වා දුන්නේය.

එසේ තිබියදී එක සමාන චෝදනාවලට යළිත් මේ ආකාරයෙන් නඩු පවරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ නඩුවේ අන්තර්ගත චෝදනාවලට වඩා වෙනස් චෝදනා මෙම නඩුවේ ඇතුළත් වන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ කාර්යාලයේ පවතින අදාළ ලේඛන ලබාගෙන ඒවායේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා මීළඟ නඩු දිනයට පෙර මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා  ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

මීළඟ දින බන්ධනාගාරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී සිටියේ, මෙම නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා පාර්ශවකරුවන්ට අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, නඩු විභාගය දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට දින නියම කළේය.

2013 වසරේ සැප්තැම්බර් මස 21 සහ ඔක්තෝබර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රු. 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…..

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

නඩුව අද (10) කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මේ දක්වා ලබාදී නොමැති බව සඳහන් කළේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කියා සිටියේ, අදාළ ලේඛන නොවැම්බර් මස තුන්වනදාට පෙර විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනාකොට අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්…..

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.

දරුවන්ට දඬුවම් කර නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව තිබිය යුතු බවත් බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැතැයි ද උන්වහන්සේ පැවසීය.

“දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ. බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා.”

ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි….

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ.

අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ.

රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම….

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කථානායකවරයා වෙත භාරදී තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (07) එම යෝජනාව කථානායකකරයා වෙත භාරදී තිබුණි.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන මහත්වරුන් එක්ව සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද එක්ව සිටියේය.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති…..

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ  පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවය බවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවත් ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල් වල නමට වඩා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’යන වගත් අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසීය.

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවත්, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් අපි දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින් පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ‍අපේක්ෂාවෙන් සිටින බවද අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදි.

දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම, සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේදී විශේෂ කටයුතු සිදු කර තිබේ. ප්‍රාථමික පන්තිවල දරුවන් 40 දක්වාත් සහ ද්විතියික පන්තිවල 45 දක්වා සීමා කර ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දෙයි.

අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ‘අධ්‍යාපන පද්ධතිය විභාගවලට ලියාපදිංචි කරන ආයතනයක් පමණක් නොවී දරුවන්ගේ අත්දැකීම් හා ගුණාත්මක ඉගෙනුම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට, තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.

මෙම පරිවර්තනයේ දී දෙමාපියන් ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, අභියෝග ඇති වුවද එය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවත් අවධාරණය කෙරේ.

සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ…

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලු දෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.

ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ මහඟු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෝමවති චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ ඉතිහාසයට පිවිසීමේ කවුළුවක් බවට මෙම නව පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පත්වනු ඇති බවය.

විද්‍යාව සහ තාක්ෂණය සමග මුසු වූ විධිමත් සංවර්ධන සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික සෝමවති පුදබිම ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට දායාද කිරීමේ වැඩපිළිවෙළ ඉටු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය….

තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව තැපැල්පතිවරයාගේ අදාළ ප්‍රකාශයට විරෝධය පල කරමින් එළැඹෙන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි.ජි.සී.නිරෝෂන මහතා පැවසුවේය.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ද පැවසුවේ කිසිදු විමර්ශනයකින් තොරව තැපැල්පතිවරයා විසින් තැපැල් සේවකයින් හට සිදුකරන චෝදනාවලට දැඩි විරෝධය පල කරන බවත්ය.

ඇඟිලි සළකුණ නොතබා තැපැල් සේවකයින් රුපියල් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවත් තැපෑලේ සිදුවන තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධවත් හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

“කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා..  මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය 4ක් OT ගෙවනවා. ඒක ලොකු ගාණක් නෙමේ නේ පැය 4යි නේ. හැබැයි මේ 10 දෙනාටම පැය 4 ගානේ OT ගෙවනවා. ඉතිං මේ වගේ වාහන කීපයක් කරපුවාම හිතන්න… මේ හින්දා එයාලා කියනවා වාහන සර්විස් කරන්න බෑ කියලා. මම කියුවා කමක් නෑ කියලා. වාහන සර්විස් කරන්නේ අපි විතරක් නෙමෙයිනේ. ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා වාහන සර්විස් කරන තැන් මම එකකට දාලා සර්විස් කරගන්නවා. 

පැයකින් දෙකකින් දෙන්නනේ ටෙලිමේල් එකක් ගහන්නේ. මගේ අතේ තියෙනවා එකක්. මේක මට ඊයේ එව්වේ යාපනයේ ඉන්නකොට. මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවලා තියෙන්නේ එවලා තියෙන්නේ 9.02 පිළිමතලාවෙන්. මේක එතනට ගිහින් තිබුණේ 10.03 මට කතා කරලා අහනවා 09.02 එවපු එකක් 10.03 ඇවිත් තියෙනවා කියලා.. මේක නොගියා නම් හොඳයි.. මාසෙකුත් දවසක් ගිහින් මගෙන් අහනකොට ඇතිවෙන ලැජ්ජාව ගැන හිතාගන්න පුළුවන්ද ? ටෙලිමේල් එකක් යවන්න මාසයක් ගියා කියන්නේ හිතාගන්න පුළුවන්ද ?

අපි සෑම මාසෙකම ඉල්ලනවා තැපැල් ගාස්තුව වැඩි කරන්න. රුපියල් 50යි නේ අපි ගන්නේ. කොළඹින් දාන එක අපි කන්කසන්තුරයටත් ගිහින් දෙන්න ගන්නේ රුපියල් 50යි. ඉතිං අපි ඔට්ටුවෙලා ලියලා ලියලා ඊයේ පෙරේදා මට එවලා තියෙනවා වැඩි කරලා. රුපියල්  50 70කරලා මම ඒක හංගගෙන ඉන්නවා. අර ස්ට්‍රයික් කරලා, මිනිස්සු පට්ට බැනුම් බැනලා ඉන්නකොට අපි සතියකින් දෙකකින් කියනවා තැපැල් ගාස්තු වැඩි කරනවා කියලා කොහොමට තියෙයිද ?”

තැපැල්පතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව තැපැල් වෘත්තිය සමිති ඒ අනුව සිය විරෝධය මේ වන විට පළකර තිබේ.

එහිදී එම වෘත්තිය සමිති සඳහන් කරනුයේ කරුණු නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව තැපැල්පතිවරයා මෙලෙස පැවසීම අසාධාරණ බවය.