නාමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි……

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළේය.

ඒ, මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද උදෑසන දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක් තුළ නාමල් රාජපක්ෂ මහතා අද මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිට තිබුණි.

මාලිමාවට පළාත් පාලන ආයතන 200ක බලය හිමිවෙයි

මේ වනවිට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ අනුව, ඔවුන් සෘජුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 151ක් හා, සභාව රැස්වීමෙන් අනතුරුව බලය පිහිට වූ ආයතන සමඟ මෙලෙස පළාත් පාලන ආයතන 200 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (24) දින බලය හිමිවූ ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව සමග සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 27 ක බලය තහවුරු කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක බලය තහවුරු කරගෙන ඇති අතර, පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 03 බැඟින් හිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ කිහිපයක්ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන ඇති අතර, තවත් පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමේ කටයුතු සිදුකිරීමට නියමිතව පවතිනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත්වීමට නියමිත බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බැසිල්ට නඩු පහක් දැම්මා, පහෙන්ම නිදොස් කොට නිදහස් – සාගර

කිසියම් හෝ පුද්ගලයෙක් වැරදි ආකාරයෙන් මුදල් උප‍යා ඇත්නම්, තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව චෝදනා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම චෝදනා ඔප්පු කිරීමට කටයුතු කළ යුතු බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා වත්මන් අමාත්‍ය ආනන්ද විජේපාල එවක යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේදී ක්‍රියාත්මක කළ කමිටුවක් හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා, නඩු 05 ක් පැවරීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළා.

නමුත් ඔහු එම නඩු පහෙන්ම නිදොස් කොට නිදහස් වූ බවත්, සමහර නඩුවලට කිසිඳු සාක්ෂියක් නොතිබුණු බවත් ඔහු පෙන්වා දුන්නා.

බොරුවට, ජනතාව රැවටීමට නඩු නොදමා, කවුරුන් හෝ වරදක් සිදුකර ඇත්නම්, සාක්ෂි තිබෙනවා නම්, නීතිය හමුවට ගෙන එන ලෙසයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතයි.

එසේම, ජූලි 08, 09 සහ 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images

සජබය පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ හා පන්නල යන පළාත් පාලන ආයතනවල බලය හිමි කරගනී

පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ සහ පන්නල යන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය අද (19) සමත් වුණා‍.

පහත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන පැවති අතර එහීදී සමගි ජන බලවේගයේ අපේක්ෂක කේ.එස්.පී. රාජනායක ඡන්ද 23ක් ලබා ගනිමින් සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.

බිංගිරිය ප්‍රාදේශීය සභාවේ අද උදෑසන පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ජය තහවුරු කරගෙන ඇති අතර, ඒ අනුව එම පක්ෂයෙන් ඉදිරිපත් වූ කමල් විශ්වනාත එහි නව සභාපතිවරයා ලෙස තේරීපත් වී තිබෙනවා.

මේ අතර, වත්තල-මාබෝල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස W. ප්‍රකාශ් ‍තේරීපත් වී ඇති අතර, වැලිගෙපොළ ප්‍රදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ චමින්ද දසනායක 11 ක් ලබා ගනිමින් තේරීපත් වුණා.

එසේම පන්නල ප්‍රදේශීය සභාවේ බලය ලබා ගැනිමට ද සමගි ජන බලවේගය සමත් වූ අතර, එහි නව සභාපතිවරයා ලෙස H.M. නන්දසිරි තේරීපත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හික්කඩුව, තලවකැලේ ලිඳුල සහ ‍දොඩංගොඩ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට

හික්කඩුව නගර සභාව, තලවකැලේ ලිඳුල නගර සභාව හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය අද (19) සමත් වුණා.

ඒ අනුව, හික්කඩුව නගර සභාවේ නගාරාධිපතිවරයා ලෙස යසස්වින් ගොඩකන්ද තේරීපත් වුනා. පැවති රහස් ඡන්දයෙන් ඔහු ඡන්ද 11 ක් ලබා ගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ චමින්ද රුවන්ට හිමිවූයේ ඡන්ද 07 ක් පමණයි.

මේ අතර, තලවකැලේ ලිඳුල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස එම්.එල්. උපාලි තේරීපත් වුනා. පැවති විවෘත ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 06 ක් හිමිවී තිබූ අතර, විපක්ෂයෙන් ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 05 ක් පමණයි.

එසේම, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නිලූෂ කවිරත්න තේරීපත් වූ අතර, එහිදී ඔහු ඡන්ද 14 ක් ලබා ගැනීමට සමත් වුණා.

ජරාජීරණ වූ ඩීල් දේශපාලනය යළි හදන්න ආණ්ඩුව මූලික වෙලා – හෙක්ටර් අප්පුහාමි

ජරාජීරණ වූ ඩීල් දේශපාලනය යළි හදන්නට ආණ්ඩුව මූලික වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඒ අනුව හොරුන්ට දඬුවම් දෙන බවත්, ‘සුද්ද කරන’ බවත් ආණ්ඩුව පැවසුවද, ආණ්ඩුව විසින් හොරුන් යැයි පැවසූ පිරිස් සමගම සභා පිහිටුවීමට කටයුතු කර ඇති බවයි අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙරට ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවද, ඡන්දයට පරිබාහිරව සභාපති හා උප සභාපති තෝරා ගැනීමේ අවස්ථාවලදී බොහෝ තැන්වල ගැටලු නිර්මාණය වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී මතු වූ අර්බුද සම්බන්ධයෙන් අධිකරණය හමුවට යෑමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභා සභිකයින් 06කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව,

* සුසිල් හේරත්

* අනිල් ඉන්ද්‍රජිත් දසනායක

* ධනංජය සම්පත් කරදගොල්ල

* ප්‍රියරංජන කුමාර රත්නායක

* කුසුමා කුමාරි

* ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න

යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ජනතාවට එකක් කියලා, IMF එකට එකක් කිව්වහම මේ වගේ අලකලංචි වෙනවා – චරිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වූ පසු, ආණ්ඩුවට ඒ අනුව කටයුතු කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මේ වන විට එම වැඩසටහනට එකඟ වී ඇති නිසා විදුලිබල වැඩි කරන බවට ජනතාවට පැහැදිළිව ප්‍රකාශ කළ යුතු බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබිල සම්බන්ධ ගැටලුවේදී ජනතාව විශාල පීඩනයකට පත්ව ඇති බවද, බුද්ධිමත්ව කල්පනා කර මෙය කළමණාකරණය කරන්නේ කෙසේදැයි පුළුල්ව බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව වැඩකළ යුතු බවත්, ජනතාවට එකක් පවසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවත් දෙයක් පැවසීමේදී මෙවැනි අලකලංචි සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.